September 20, 2026

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ යුදමය අර්බුද හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සහ ප්‍රවාහන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ, දේශීය වශයෙන් පාරිභෝගිකයන්ට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා කෙටි කාලීන ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට රජය තීරණය කර තිබේ.

ඉන්ධන මිල තවදුරටත් ඉහළ ගියහොත් එය ජනතාවගේ ජීවන වියදමට මෙන්ම කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතුවලට, විදුලි නිෂ්පාදනයට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, තත්ත්වය සමනය වන තෙක් සීමිත කාල පරිච්ඡේදයක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට අවසර ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මීට පෙර අප්‍රේල් මාසයේදී ද රජය මූල්‍ය සහන පැකේජයක් යටතේ ඩීසල් ලීටරයකට රු. 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රු. 20ක් බැගින් මාසිකව රුපියල් බිලියන 20ක පමණ සහනාධාරයක් ලබාදුන් අතර, එය ජූලි මාසය මැද භාගයේදී අවසන් විය.

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් බිලියන 2.9ක ණය සහනය යටතේ ඉන්ධන සඳහා නිෂ්පාදන පිරිවැය ආවරණය වන පරිදි මිල තීරණය කිරීමේතදබල කොන්දේසියක් පනවා ඇත.

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යෑම සහ නෞකා ගාස්තු ඉහළ යෑම හමුවේ පෞද්ගලික ඉන්ධන සමාගම් පවසන්නේ, තමන් දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 100ක පමණ පාඩුවක් ලබන බැවින් වහාම ඩීසල් මිල ඉහළ දැමීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය බවයි.