September 20, 2026

බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සුරැකීමේ පියවරක් ලෙස මංගල උත්සව, සාද, බැංකු, සුපර්මාර්කට්, ආයතනික උත්සව සහ DJ සංගීත සංදර්ශනවලදී ගීත වාදනය කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ගැසට් කර තිබේ.

ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මෙම රෙගුලාසි පසුගිය අඟහරුවාදා සිට බලපැවැත්වේ.

සහභාගී වන පිරිස අනුව රුපියල් 20,000 සිට රුපියල් 125,000 දක්වා වෙනස් වන ගාස්තුවක් අය කෙරේ.

උදාහරණයක් ලෙස 100කට අඩු DJ සාදා සඳහා රු. 20,000ක්ද, පුද්ගලයන් 300කට වැඩි පෞද්ගලික හෝ ආයතනික සජීවී සංගීත උත්සව සඳහා රු. 125,000ක්ද අය කෙරේ.

ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය නියෝජනය කරන ශ්‍රී ලාංකේය ගීත මෙන්ම ඉන්දියානු ප්‍රසාංගික අයිතිවාසිකම් සංගමය හරහා නියෝජනය වන හින්දි සහ දෙමළ ගීත සඳහා පමණක් මෙය අදාළ වේ.

ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය ගීත පමණක් වාදනය කරන උත්සව සඳහා මෙම බලපත්‍රය අවශ්‍ය නොවේ.

උත්සවය පැවැත්වීමට දින 14කට පෙර සංවිධායකයන් විසින් හෝ අදාළ හෝටලය විසින් මෙම බලපත්‍රය ලබාගත යුතුය.

උත්සවයෙන් පසුව වාදනය කරන ලද ගීත හඳුනා ගැනීමට හැකි වන පරිදි එහි ශ්‍රව්‍ය පටිගත කිරීමක් සංගමය වෙත ලබාදිය යුතුය.

සුපර්මාර්කට්, බැංකු, සාප්පු සංකීර්ණ, සිනමාහල් මෙන්ම මගී බස් රථ, සංචාරක වාහන සහ දුම්රිය සඳහා වර්ග අඩි සහ ප්‍රදේශය අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් නියම කෙරේ.

ගායකයන්ට අගය කිරීම් ලැබුණද, ගීත රචකයන්ට සහ තනු නිර්මාණකරුවන්ට නිසි ගෞරවයක් හෝ කර්තෘ භාගයක් නොලැබෙන බැවින්, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති නිලාර් එන්. කාසීම් පැවසීය.

මෙම තීරණය ඉතා අසාධාරණ බවත්, මෙයින් සිදුවන්නේ හෝටල් තුළ සිංහල ගීත වාදනය කිරීම නතර වීම බවත් ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති අසෝක හෙට්ටිගොඩ සඳහන් කළේය.

එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය අත්විඳීමට පැමිණෙන සංචාරකයන්ට සෘණාත්මකව බලපාන අතර සංචාරක කර්මාන්තයට පහරක් වන බව පවසමින් ඔහු සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා ඇත.