September 19, 2026

සෞදි අරාබියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාගේ නඩුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය දැඩි අවධානයෙන් පසුවන බව සෙප්තැම්බර් 18 වනදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අභියාචනයකින් පසුව ඔහුට මරණ දඬුවම නියම වී ඇති බවට ඔහුගේ පවුලේ අය කරන ප්‍රකාශ හමුවේ රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ පිහිටි සවුදි අරාබි තානාපති කාර්යාලය හා එක්ව මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සවුදියේ රැකියාවක නිරතව සිටියදී ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකළ බවට අනෝජන්ට චෝදනා එල්ල වී තිබේ.

ජූලි 15 වැනිදා සවුදි අධිකරණය විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන තුනක දඩයක් නියම කරන ලදී.

පසුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහය ඇතිව දඬුවම ලිහිල් කරගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එම අභියාචනයෙන් පසු දඬුවම මරණ දඬුවම දක්වා ඉහළ නංවා ඇති බවට පවුලේ අයට තොරතුරු ලැබී ඇත.

කෙසේවෙතත්, විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මරණ දඬුවම තහවුරු කර නොමැති අතර, තීන්දුවේ නිල ලේඛනය ලැබෙන තෙක් තානාපති කාර්යාලය බලාපොරොත්තුවෙන් සිටී.

මේ අතර, මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මෙහි ක්‍රියාපටිපාටිය පිළිබඳව කනස්සල්ල පළ කරමින්, අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට වහාම මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටී.

තානාපති කාර්යාලය සාර්ථකත්වයේ ඉඩකඩ අඩු බව ප්‍රකාශ කර තිබියදීත්, නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරුන් හේමචන්ද්‍රගේ උපදෙස් මත පවුලේ අය අභියාචනය සඳහා රුපියල් 1,890,766 ක මුදලක් ගෙවූ බව මන්ත්‍රීවරයා චෝදනා කරයි.

නීතිඥ ගාස්තු ගෙවීමෙන් පසුව වෙනත් නීතිඥයකු අධිකරණය හමුවේ පෙනීසිටීම, අභියාචනා ලේඛන ප්‍රමාද වී පවුලේ අයට ලබාදීම සහ මුදල් නාස්ති කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටී.

මේ සම්බන්ධයෙන් ලබන සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට නියමිත අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී අනෝජන්ට සහනයක් ලබාදීමට පියවර ගනිමින් සිටින බව ප්‍රකාශ කරයි.