September 10, 2026

පාකිස්තානයේ රාවල්පින්ඩි හි පිහිටි නිවස තුළදී මුස්ලිම් ජාතික අසල්වැසියකු විසින් 21 හැවිරිදි ක්‍රිස්තියානි තරුණියක් වෙඩි තබා ඝාතනය කර ඇති බව Christian Daily International වාර්තා කරයි.

මෙම කෲර ඝාතනයෙන් පසු, ඝාතකයා විසින් වින්දිත තරුණියගේ 16 හැවිරිදි මස්සිනා පැහැරගෙන ගොස්, එම ඝාතන වරද ඔහු විසින් කළ බවට පිළිගනිමින් පාපොච්චාරණය කරන ලෙසට බලපෑම් කර තිබේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තම ස්වාමිපුරුෂයා හැර දමා මෙම තරුණිය තම දියණියන් දෙදෙනා සමඟ පසුගිය වසරේ සිට මවගේ සහ සුළු පවුලේ අය සමඟ ජීවත් වී ඇත.

ඇගේ අසල්වැසියකු වන අද්නාන් බට් නමැත්තා ඇය වෙත නිතර නුසුදුසු යෝජනා ඉදිරිපත් කර ඇති අතර, වරක් ඇය වෙළඳපොළට යමින් සිටියදී මාර්ගයද අවහිර කර තිබේ. ස්වයං ආරක්ෂාව පිණිස ඇය අවස්ථා දෙකකදී ඔහුට ප්‍රහාර එල්ල කළද, එය තත්ත්වය තවත් උග්‍ර අතට හැරවීමට හේතු විය.

“සබාගේ ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ කෝපය තවත් වැඩි කළා යැයි මම සිතනවා, එය ඇයව ඝාතනය කිරීමට හේතු වුණා,” යැයි සබාගේ සොහොයුරු ජොෂුවා මෙහ්බූබ් පැවසීය.

සැප්තැම්බර් 3 වන දින රාත්‍රී 9 ට පමණ, අද්නාන් බට් බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී, සබාගේ සුළු මාමාවරුන්ට තුවක්කුවක් පෙන්වා නිවසින් පිටව යන ලෙස නියෝග කර ඇත. සබාගේ මස්සිනා වන අනූෂ්, බට් විසින් සබාට නැවත නැවතත් පහර දෙමින්, ඇය තමාගේ ගෞරවය කෙළෙසූ බවට කෑගසමින් සිටිනු බලා සිටියේ දැඩි අසරණ භාවයෙනි.

අනතුරුව බට් විසින් සබාගේ නළලට වෙඩි තබා ඇති අතර, ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇත. අනූෂ්ව තුවක්කුවෙන් බිය ගන්වා මෝටර් රථයක නංවාගෙන බට්ගේ බිරිඳගේ සහෝදරයාගේ නිවසට රැගෙන ගොස් ඇත. එහිදී ඔහු නිහඬව නොසිටියහොත් හෝ ඝාතන වරද තමාම පිළිගත්තේ නැතිනම් මරණීය දණ්ඩනය පමුණුවන බවට පිරිසක් ඔහුට තර්ජනය කර තිබේ.

සබාගේ පියා සහ අනෙකුත් පවුලේ සාමාජිකයින් කිසිදු පැමිණිල්ලක් නොකර සිටීමට එකඟ වන තෙක්, පසුදින සවස 5 වන තුරු අනූෂ් ඔවුන්ගේ භාරයේ රඳවාගෙන සිට ඇත. පසුව පවුලේ අය රෝහලට ගොස් සබාගේ මළ සිරුර භාරගත් අතර, පොලිසියට එහි පැමිණෙන ලෙස දන්වා අනූෂ්ගේ ප්‍රකාශය සටහන් කරවා ගත්හ. ඉන්පසු ඔහු සහ ඔහුගේ පියා ආරක්ෂිත භාරයට පත් කෙරිණි.

පොලිසිය විසින් ප්‍රථම තොරතුරු වාර්තාවක් (FIR) ගොනු කරමින් මෙම සිදුවීම අපරාධයක් ලෙස නිල වශයෙන් විමර්ශනය ආරම්භ කර ඇත. බට් යනු කිසිදු අපරාධ ඉතිහාසයක් නැති යහපත් චරිතයක් බවට ඔහුගේ පෙත්සමේ සඳහන් වුවද, මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ආයුධ, රණ්ඩු දබර, සොරකම්, කොල්ලකෑම් සහ කලහකාරී ක්‍රියා සම්බන්ධ බහුවිධ අපරාධ වාර්තා අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, බට් අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට පෙර ඇප ලබා ගැනීමට සමත් වී ඇත.

මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන දෙපිරිසම එක්ව බට් අත්අඩංගුවට ගන්නා ලෙසත්, සබාගේ පවුලට සහ ඇගේ කුඩා දියණියන්ට සාධාරණත්වය ඉල්ලා ප්‍රදේශයේ විරෝධතාවක් දියත් කර ඇත.

පාකිස්තානයේ ආගමික සුළු ජාතීන්, විශේෂයෙන්ම ලිංගික අපරාධවලදී යුක්තිය ඉටු නොවීමේ තත්ත්වය පිළිබඳව ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන් දැඩි ලෙස දැනුවත් කිරීම් සිදු කරමින් සිටිති.

නීති ආධාර සහ ජනාවාස මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නසීර් සයීඩ් ප්‍රකාශ කළේ, සබාගේ මරණය මඟින් එරට ක්‍රිස්තියානි ප්‍රජාව මුහුණ දෙන අන්ත අනාරක්ෂිත භාවය මනාව පෙන්නුම් කරන බවයි. එමෙන්ම බහුතර මුස්ලිම් ජනගහනයට සමානව සුළු ජාතීන්ටද සමාන සැලකිලි දක්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.