September 11, 2026

ලංකාවේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, මෙතෙක් කාලයක් පැවති විභාග ක්‍රමය වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැවැන්ත තීරණයක් ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකාරක සභා රැස්වීමේදී මෙම තීරණාත්මක කරුණු සාකච්ඡා වී ඇත.

ඒ අනුව මින් ඉදිරියට සිසුවෙකුගේ අවසන් ලකුණුවලින් 50%ක්ම ලැබෙන්නේ වසර පුරා සිදුකරන අඛණ්ඩ ඇගයීම් මගිනි.

ඉතිරි 50% පමණක් වාර විභාග මගින් තීරණය වේ.

මෙතෙක් පැවති GPA (Grade Point Average) ක්‍රමය වෙනුවට විෂයන්හි ස්වභාවයට අනුව අවසන් ලකුණු ගණනය කෙරෙන ‘බර තැබූ සාමාන්‍ය ලකුණු’ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා වන ජාතික විෂයමාලා රාමුව, 2026 සංකල්ප පත්‍රිකාව සහ පාසල් මට්ටමේ ඇගයීම් හා සහතික කිරීමේ රාමුව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පැවසීය.

මෙම නව ප්‍රතිසංස්කරණ මේ වන විට 1 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක වන අතර, 2 සහ 6 ශ්‍රේණි සඳහා 2027 වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.