September 11, 2026

ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරනු ලබන සාද සහ ඒවා පැවැත්වෙන ස්ථාන හඳුනාගෙන නිරීක්ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ බුද්ධි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මෙම සාදයන් හරහා තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරම්වලට ගොදුරු වීම වැළැක්වීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F. U. වූට්ලර් පැවසීය.

මෙහෙයුමේ එක් පියවරක් ලෙස, තෙල්දෙණිය පොලිස් බලප්‍රදේශයේ ෆේස්බුක් මාර්ගයෙන් සංවිධානය කර තිබූ සාදයක් වටලා තරුණ තරුණියන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාලයන් විසින් මුදල් ඉපයීමේ ව්‍යාපාර ලෙස මෙම සාදයන් සංවිධානය කරන බවත්, ෆේස්බුක් පාටි මුවාවෙන් තරුණයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවන බවත් පොලිසිය අනතුරු අඟවයි.

තම දරුවන්ගේ කතාබහ, හැසිරීම් රටාව සහ දෛනික ගමනාගමනවල හදිසියේ සිදුවන වෙනස්කම් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

මත්ද්‍රව්‍ය අර්බුදය හේතුවෙන් 2025 වසර තුළ පමණක් පුද්ගලයන් 175 දෙනෙකු (පිරිමි 172ක් සහ කාන්තාවන් 3ක්) දිවි නසාගෙන ඇති බව පොලිසිය හෙළි කරයි.

තවද, 2026 වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවූ මරණ 11ක් වාර්තා වී තිබේ.