September 11, 2026

යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේදී අසත්‍ය සාක්ෂි දුන් බවට පැවසෙන පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දුන්නේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන පාලිත ගමගේ නැමැත්තා ලබා දුන් සාක්ෂි කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකළේය.

එම සාක්ෂිකරු මීට පෙර පොලිසියට ලබා දී තිබූ ප්‍රකාශයට පටහැනි ලෙස අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.

ඒ අනුව අසත්‍ය සාක්ෂි දීමේ චෝදනා යටතේ අදාළ සාක්ෂිකරුට එරෙහිව පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සාක්ෂිකාර පාලිත ගමගේ ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.