September 11, 2026

ගුවන් යානා මිලදී ගැනීමේදී ගැනුම්කරුවන්ට පිරිනමන කොමිස් මුදල් එම ගුවන් යානාවල මිලට ඇතුළත් කර ඇති බවත්, එම කොමිස් මුදල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් අදාළ ගනුදෙනුව අවලංගු වීමට පවා ඉඩ ඇති බවත් මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු පවසයි.

ඊයේ (10) කටුනායක එයාලයින්ස් ගාඩන් හෝටලයේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ප්‍රනාන්දු කියාසිටියේ, ගුවන් යානා අලෙවිකරුවන් මිලදී ගැනීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙවැනි කොමිස් මුදල් ලබාදෙන බවයි.

ශ්‍රී ලංකා ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය ප්‍රනාන්දු පැවසුවේ, ගුවන් යානා නිෂ්පාදකයන්ගෙන් සෘජුව, බලයලත් නියෝජිතයන් මාර්ගයෙන් හෝ තැරැව්කරුවන් හරහා මිලදී ගත හැකි බවයි.

නියෝජිතයකු හෝ තැරැව්කරුවකු මාර්ගයෙන් ගුවන් යානා මිලදී ගැනීම මූල්‍යමය වශයෙන් වඩාත් වාසිදායක විය හැකි බව ප්‍රකාශ කළ ඔහු, ගුවන් යානා අලෙවිකරුවන් විසින් පිරිනමනු ලබන කොමිස් මුදල් මෙවැනි ගනුදෙනුවල සාමාන්‍ය ලක්ෂණයක් බව ද පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවයට සම්බන්ධ ගුවන් යානා අත්පත් කර ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල් මිලියන 100 ක අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, ශ්‍රීලංකන් ගුවන් සේවයේ අතීත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු පිළිබඳව යළිත් අවධානය යොමු වී ඇති පසුබිමක ඔහු මෙම අදහස් පළකර තිබේ.

කෙසේවෙතත් නාමල් රාජපක්ෂ, තමන් කිසිදු වැරැද්දක් සිදු කර නොමැති බව ප්‍රකාශ කර ඇත.