September 10, 2026

එංගලන්තයේ පෝට්ස්මූත් හි තරු පන්තියේ හෝටලයක් අසලට රැස්වූ මුහුණු ආවරණය කරගත් පිරිසක්, එහි සරණාගතයින් පිරිසක් රඳවා ඇති බවට ප්‍රචාරය වූ වැරදි තොරතුරක් මත නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර තිබේ.

කෙසේ වෙතත්, එම හෝටලයේ රැඳී සිට ඇත්තේ සංචාරයක නිරත පාකිස්ථානයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමයි.

හෝටල් කාර්ය මණ්ඩලය සහ රැස්ව සිටි ජනතාව මැදිහත්වී සාකච්ඡා කිරීම සඳහා එම ස්ථානයට කැඳවූ මන්ත්‍රී ජෝර්ජ් මැඩ්වික් පැවසුවේ මෙය අතිශයින්ම අවාසනාවන්ත සිදුවීමක් බවයි.

ඉකුත් ඉරිදා සවස ප්‍රංශයේ සිට සරණාගතයින් රැගත් ඩිංගි බෝට්ටුවක් පෝට්ස්මූත් වෙරළ තීරයට ළඟා වීමෙන් පසු, මුහුණු ආවරණ පැළඳ සිටි බොහෝ දෙනෙකු ඇතුළු සිය ගණනක් පිරිසක් පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත්හ. සිදුව ඇති ප්‍රහාර සහ අපරාධමය දේපළ හානි පිළිබඳව පොලිසිය විසින් පුළුල් පරීක්ෂණ පවත්වනු ලබයි.

කළු පැහැති ඇඳුමින් සැරසී මුහුණු ආවරණ පැළඳ සිටි පිරිසක් ඩෝවර් වරාය අවට මාර්ගය පැය කිහිපයක් පුරා අවහිර කරමින් විරෝධතාවක නිරත වී දිනකට පසු මෙම සිදුවීම වාර්තා විය. ටොමි රොබින්සන් සමඟ සමීප සබඳතා පවත්වන අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ඩැනියෙල් තෝමස් ප්‍රකාශ කර ඇත්තේ මෙම විරෝධතා දෙකම සංවිධානය කරන ලද්දේ තමන් විසින් බවයි.

ඉකුත් අඟහරුවාදා සවස තමා නිවසේ සිටියදී දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, සරණාගතයින් එහි රඳවා ඇති බවට පැතිර ගිය ආරංචියක් මත මුහුණු ආවරණ පැළඳගත් 40 ක පමණ පිරිසක් හෝටලය අසලට රැස්වී සිටින බව තමාට දැනුම් දුන් බවත් මැඩ්වික් වැඩිදුරටත් පැවසීය.