September 8, 2026

රුපියල් මිලියන 51කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෂීස් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ තායි ජාතිකයන් දෙදෙනකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කිසිදු භාණ්ඩයක් නොමැති මගීන් සඳහා වෙන්කර ඇති හරිත මාවත(Green Channel) ඔස්සේ යෑමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම විදේශිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා තායිලන්තයේ මස් අළෙවිසැලක මස් කපන්නන් ලෙස සේවය කරන්නන් වේ.

ඔවුන් බැංකොක් නුවර සිට Thai Airways සමාගමට අයත් TG-307 දරන ගුවන් යානයෙන් අද (08) අලුයම ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

සැකකරුවන් සතු ගමන් මලු පරීක්ෂා කිරීමේදී, විටමින් බෝතල් 16ක් තුළ සඟවන ලද කුෂ් කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 496ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මීට අමතරව, පොලිතින්වල ඔතා මිදි පාර්සලයක් ලෙස පෙනෙන සේ බාහිරින් සකස් කරන ලද හෂීස් ග්‍රෑම් 641ක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වටිනාකම රුපියල් 51,370,000ක් ලෙස ඇස්තමේන්තුව කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.