September 8, 2026

මෙම වසර අවසානයේ ආනයනය කිරීමට නියමිත නව වායුසමීකරණය කළ බස් රථ 600ක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අරමුදල්වලින් මිලදී ගන්නා බස් රථ 200ක් සමඟින් ශ්‍රී ලංගම බලකාය තවදුරටත් ශක්තිමත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ කඩවත මෙට්‍රෝ ඩිපෝවේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අවස්ථාවට ඊයේ (07) එක්වෙමිනි.

තවත් බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇති බවත්, ඒ සමඟම මේ මාසය තුළ මෙට්‍රෝ බස් රථ සංචිතය 122ක් දක්වා ඉහළ නංවන බවත් ඔහු එහිදී අනාවරණය කරන ලදී.

මෙට්‍රෝ බස් සේවය බස්නාහිර පළාතෙන් ඔබ්බට ගොස් ගාල්ල, මහනුවර සහ යාපනය දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත අතර මෙට්‍රෝ ආයතනය සමඟ එක්ව සේවාවන් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික අංශයටද ඉදිරියේදී අවස්ථා විවෘත වන බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

මෙම වසර අවසනයේ හෝ ලබන වසරේ මුල්භාගය වන විට එම සංචිතය බස් රථ 172ක් දක්වා පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නගර ප්‍රවාහන නවීකරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන අමාත්‍යාංශය, Clean Sri Lanka ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රෝ ට්‍රැන්සිට් සමාගම එක්ව ඒකාබද්ධව සිදුකරනු ලබයි.

පළමු මෙට්‍රෝ ඩිපෝව පසුගිය සැප්තැම්බර් 4 වැනි දින බත්තරමුල්ල, තලංගම දී ජනතා අයිතියට පත්කෙරිණි.

කඩවත, ඒකල සහ රත්මලාන යන ප්‍රදේශවල නව ඩිපෝ ඉදිකිරීමටද සැලසුම් කර ඇති අතර, මේ වන විට මාකුඹුරේ සිට මහරගම හරහා කඩවත දක්වා දිවෙන අංක 01 දරන මාර්ගයේ නව බස් රථ 15ක් යොදවා මෙට්‍රෝ බස් සේවාව ක්‍රියාත්මක වේ.

මීට අමතරව, උසස් තත්ත්වයේ බස් නැවතුම්පළවල්, ඒකාබද්ධ ගෙවීම් ක්‍රම සහ නවීන පහසුකම් සහිතව අනෙකුත් ප්‍රවාහන සේවාවන් සමඟ මෙම සේවය මනා ලෙස සම්බන්ධීකරණය කිරීමටද පියවර ගනිමින් පවතින බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.