September 8, 2026

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සඳහා අද (08) දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.

මෙම සංචාරයේ විශේෂත්වය වනුයේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 38කට පසු වීමයි. සැප්තැම්බර් 08 සිට 10 වැනිදා දක්වා මෙම සංචාරය ක්‍රියාත්මක වේ. සංචාරය අතරතුර, රාජ්නාත් සිං ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය.

පසුගිය වසරේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් තබන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, අමාත්‍යවරයාගේ සංචාරය වෙනුවෙන් කොළඹ නගරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව, අමාත්‍යවරයා ගමන් ගන්නා අවස්ථාවන්හිදී කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කෙරෙනු ඇති බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙස කොළඹ රථවාහන කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටී.