September 7, 2026

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වූ දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයෙකු වන ශාන්ත ජයතිලක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක නමැති පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි.

එහෙත් එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොවූ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කරති.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතනායකවරයා වෙත දැනුම්දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.