September 3, 2026

යාල ජාතික වනෝද්‍යානයේ V වැනි කලාපය තුළ සිදුවූ බව කියන වනසතුන් දඩයම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මෙම මස මුලදී වනෝද්‍යාන නිලධාරීන් වෙත lලබාදුන් වීඩියෝ දර්ශනයක් පදනම් කරගනිමින් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.

දෙපාර්තමේන්තුවට අනුව, මෙම සිදුවීම අගෝස්තු 10 වැනිදා පස්වරුවේ වෙහෙරගල ප්‍රදේශයේදී සිදුවී ඇත. එම වීඩියෝව පටිගත කළ සෆාරි ජීප් රථ රියදුරකු විසින් එදිනම V වැනි කලාපයේ වනෝද්‍යාන බාරකාරවරයා වෙත එය බාර දී තිබේ. ඒ අනුව බාරකාරවරයා අගෝස්තු 11 සහ 12 යන දිනවල පරීක්ෂණ පැවැත්වුවද, අදාළ සැකකරු සොයාගැනීමට හැකිවී නොමැත.

සැකකරු පදිංචිව සිටි ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පසුව අනාවරණය වී ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරයිති.

අදාළ සැකකරු මීට පෙරද වරදකරුවකු වූ අයෙකු බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට රුපියල් 150,000ක දඩයක් නියම කර තිබේ.

ඔහුගේ පූර්ව නඩු වාර්තා සලකා බලා වසර 5කට අත්හිටුවූ වසර 2ක සිරදඬුවමක් ද නියම කර තිබූ අතර, නියම කළ දඩ මුදල ගෙවීමට නොහැකි වීම හේතුවෙන් ඔහු මාස 3ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇත. මෙම නවතම සිදුවීම සම්බන්ධයෙන් ද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

දඩයක්කාරයකු ඇතුළු පිරිසක් දහවල් කාලයේදී V වැනි කලාපයට ඇතුළු වී නීතිවිරෝධී කටයුතුවල නිරත වී කිසිදු බාධාවකින් තොරව පිටව ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනක් සමඟින් මෙම සිද්ධිය කෙරෙහි මහජනතාවගේ දැඩි අවධානය යොමුවිය.