September 3, 2026

අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජනරැලියට බියෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එල්ල කරන චෝදනා අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කර තිබේ.

මේ පිළිබඳව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, නාමල් රාජපක්ෂට එරෙහිව ගනු ලබන පියවර අධිකරණ ක්‍රියාමාර්ග මත පදනම් වූ ඒවා බවත්, තමන් කළ කී දෑ පිළිබඳව අදාළ මන්ත්‍රීවරයා හොඳින්ම දන්නා බවත්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැනි ආයතන මගින් නාමල් රාජපක්ෂගේ ක්‍රියාකලාපයන් හි සමස්ත තොරතුරු මෙතෙක් සම්පූර්ණයෙන්ම අනාවරණය කරගෙන නොමැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

විමර්ශනයන්හි මූලික අරමුණ සාක්ෂි සහිතව වරදකරුවන් බව ඔප්පු කිරීම බවත්, වරදක් කර ඇති අයෙකු තුළ යම් බියක් හෝ සැකයක් ඇතිවීම ස්වාභාවික කරුණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, තමන්ව අත්අඩංගුවට ගැනීමට යන බවට නාමල් රාජපක්ෂ මහතා විශ්වාස කළේ නම්, මීට පෙර අදාළ ජනරැලිය පැවැත්වීමට තිබූ බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

යම් හෙයකින් වරදක් කර ඇති බවට තහවුරු වන ඕනෑම අයෙකුට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, මගහැර යාමෙන් තොරව නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දෙන ලෙස ද නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.