September 2, 2026

පාකිස්තානයේ සිට මෙරටට රැගෙන විත් ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් කොළඹ වරායේ බහලුමක සඟවා තිබියදී සොයාගත් රුපියල් කෝටි 800ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගය, ප්‍රංශයේ සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ‘රූබන්’ ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු විසින් ගෙන්වා ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

කිලෝග්‍රෑම් 472ක බරින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ඇසුරූ පැකට් 463ක් මෙම බහලුම තුළ තිබී සොයාගෙන ඇත. පාකිස්තානයේ සිට අල සහ ලූණු ආනයනය කරන දෙමටගොඩ පදිංචි ව්‍යාපාරිකයකු විසින් මෙම කන්ටේනරය ගෙන්වා ඇති අතර, එය කොළඹ වරායේ තිබියදී මොරොක්කෝව වෙත ප්‍රතිනැව්ගත කිරීමට ලිපිලේඛන සකස් කර තිබූ බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් අදාළ ව්‍යාපාරිකයාගෙන් කළ ප්‍රශ්න කිරීම් මත පදනම්ව තවත් ව්‍යාපාරිකයකු සහ පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස බහලුම් තුළ සඟවා පාකිස්තානයේ සිට තවත් මත්ද්‍රව්‍ය තොග රැගෙනවිත් තිබේදැයි සෙවීමට විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ජනමාධ්‍ය වෙත පවසා ඇත.

සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.