
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කිරීම අද ආරම්භ විය.
මෙම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබිණි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් “ස්වාමීනි.. මෙය කෙළින්ම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකරන පනත් කෙටුම්පත්. මේ හරහා අගවිනිසුරු වරයාගේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ වෙනවා. සෙසු විනිසුරුවරුන්ගේත් විශ්‍රාම වයස දීර්ඝ වීමක් සිදුවෙනවා. ඒ නිසා ළබැඳියාවන් අතර ගැටුමක් මේ අවස්ථාවේදී උද්ගත වෙනවා. එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පනත් කෙටුම්පතට අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන් ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ” ස්වාමීනි… යෝජිත පනත් කෙටුම්පත තුළින් විනිසුරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කර තිබෙනවා. යුක්තිය ඉටුවෙනවා පමණක් නොව එය ඉටුවන බව පෙනෙන්නත් තිබිය යුතුයි. ‘බැංගලෝර් මූලධර්ම’ අනුව අධිකරණ ක්‍රියාදාමයන් ස්වාධීන විය යුතුයි.” එමනිසා මෙම පනත් කෙටුම්පත පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.
ඊට අමතරව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි ස බ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ, මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥවරු මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා සිටියහ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ස්වාමීනී.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ අභිමතය පැවරී තිබෙන්නේ අගවිනිසුරුවරයාටයි. එම ප්රතිපාදනය ප්‍රකාරව අගවිනිසුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් වශයෙන් දෙදෙනෙක්ට වැඩි විනිසුරු සංඛ්‍යාවක් නම්කළ හැකියි. විනිසුරු මඩුල්ලේ සංයුත්තිය තීරණය කිරීමේ සම්පූර්ණ බලය අගවිනිසුරුවරයා වෙත පැවරී තිබෙනවා. ඊට බාහිර පාර්ශ්වයන්ට මැදිහත් වීමට හැකියාවක් නැහැ” යනුවෙන් පැවසුවේය.
අතරමැදි පෙත්සම්කරුවකු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් ඇතුළු නීතිඥවරු විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් විනිසුරු මඩුල්ලක සංයුතිය සම්බන්ධයෙන් තීරණය කිරීමේ අභිමතය අගනිසුරු සතුවන බව පෙන්වාදුන්හ.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අගවිනිසුරුවරයා ප්රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ, අදාළ පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශවය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ අනූව පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය ඉදිරියට පවත්වාගෙන යන බවත් පංචපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළහ.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය ආරම්භ විය..
පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සූමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් “යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත ව්‍යවස්ථා කිහිපයක්ම උල්ලංඝනය වෙනවා. විශේෂයෙන් 03 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය මෙම පනත් කෙටුම්පත ජනමතවිචාරණයක් සදහා යොමුකිරීමට තීරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන උල්ලංඝනය කරන මෙවැනි සංශෝධන අනිවාර්යයෙන්ම ජනමතවිචාරණයකට යොමුවිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 සහ 04 ව්‍යවස්ථා ජනතා පරමාධිපත්‍යය හා කෙළින්ම සම්බන්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වන ව්‍යවස්ථාවට සිදුකරන සියලු වෙනස්කම් 03 වන ව්‍යවස්ථාවට බලපානවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 ව්‍යවස්ථාව තුළින් ජනතා පරමාධිපත්‍යය විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය හරහා ක්‍රියාත්මක වන බව දක්වා තිබෙනවා. වත්මන් අමාත්‍ය විජිත හේරත් මහතා විපක්ෂයේ සිටියදී පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත්කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. නමුත් අධිකරණය සදහන් කළා ඊට ජනමතවිචාරණයක් අවශ්‍ය බවට. 2022 වසරේ දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳ තීන්දුවේ අධිකරණය ප්‍රකාශ කළා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය බවට. අධිකරණ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 ව්‍යවස්ථාවේ අන්තර්ගත වන බව උපරිමාධිකරණ තීන්දුවක සදහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වන ව්‍යවස්ථාවේ අධිකරණය පිළිබඳව සදහන් වෙනවා. එහි උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව සදහන් වෙනවා. යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික පදනමට සෘජුවම බලපෑම් එල්ල කෙරෙනවා. ඒ නිසා මෙම සංශෝධනය ජනමතවිචාරණයකින් පවා අනුමත කරන්න බැහැ. මෙහි බරපතලභාවය ගැන නීතිඥ සංගමය බලධාරීන්ට ලිව්වා. නමුත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අවසානයේ දී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නීතිඥ සංගමයට මහසභා රැස්වීමක් කැදවීමට සිදුවුණා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විනිසුරුවරු හයදෙනෙකු විශ්‍රාම ගියා. අගවිනිසුරුවරු දෙදෙනෙකු විශ්‍රාම ගියා. මෙම සංශෝධනය සම්මත වුවහොත් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා” යනුවෙන් පැවසුවේය.
ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 ක් ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස 63 ලෙසත් දක්වා තිබේනවා. යෝජිත පනත් කෙටුම්පතේ අගවිනිසුරුවරයාගේ ධුර කාලය සීමාකර තිබෙනවා. ඒ තුළින් සෘජුවම ජනතා පරමාධිපත්‍යය හා ගැටීමක් සිදුවෙනවා. විනිසුරුවරුන්ට නිදහසේ සිය රාජකාරි ඉටුකිරීමට පරිසරයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ පමණින් එම නිදහසට බාධා සිදුවෙන්න බැහැ. මෙම පනත් කෙටුම්පත තුළින් අධිකරණ ස්වාධීනත්වයට ඍජුවම බලපෑම් සිදුවෙනවා. ඒ හරහා ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙනවා. අධිකරණ ඉදිරියේ මෙවැනි කරුණු දැක්වීමක් සිදුකිරීමට සිදුවීම ගැන මා කණගාටු වෙනවා. මෙවැනි කරුණු දැක්වීමක් සිදුකිරීමට සිදුව තිබෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහායි. ඔබතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන්. විධායකය මේ ආකාරයට ඔබ තුමන්ලාව අපහසුතාවයට ලක්නොකළ යුතුයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අඩුකිරීම පමණක් නොව එය ඉහළ නැංවීමෙන් පවා අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. ශ්‍රී ලංකා යනු ආසියාවේ පැරණිතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක්. අපට චීනයක් හෝ වියට්නාමයක් වීමට අවශ්‍ය නෑ” යනුවෙන් නීතිඥවරයා සඳහන් කළේය.
ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත සංශෝධනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වන ආකාරය පෙන්වාදුන්නේය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ජනමතවිචාරණයකින් තොරව සම්මත කළ නොහැකි බවත් ඔහු සඳහන් කර සිටියේය.
තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ තිසත් විජ්ගූණවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් “මෙම කෙටුම්පත තුළින් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට යෝජනා කර තිබෙනවා. කෙටුම්පත සම්මත කිරීමේ බලය පාර්ලිමේන්තුවට පමණක් ලබාදීම අතිශය භයානකයි. ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා. එම නිසා මෙය ජනතා අනුමැතිය සඳහා යොමුවිය යුතුයි. ජනමතවිචාරණයකින් තොරව එය පාර්ලිමේන්තුව තුළින් පමණක් අනුමත වුවහොත් ඒ තුළින් කෙළින්ම අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වෙනවා” යනුවෙන් සඳහන් කළේය.
ඉන් අනතුරුව තවත් පෙත්සම්කරුවන් පිරිසක් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් “යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් සෘජුව හෝ වක්‍රව මෙම අධිකරණයේ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවෙනවා. නීතියේ ඉතා වැදගත් මූලධර්මයක් තිබෙනවා. විනිසුරුවරයෙකු තමන්ට බලපාන කරුණක් පිළිබඳව තමන් විසින්ම විනිශ්චයක් ලබාදීම නුසුදුසු බවට. මෙම පනත් කෙටුම්පත තුළින් මෙම අධිකරණ විනිසුරුවරුන්ට බලපෑමක් සිදුවන නිසා මෙම පෙත්සම් ඔබතුමන්ලා විසින් විමසීම සුදුසු නෑ. එසේනම් ඊළගට තිබෙන විකල්පය කුමක් ද? ඒ තමයි ජනමතවිචාරණය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ තීරණයක් ගැනීම ජනතාව හමුවේ තැබිය යුතුයි” යනුවෙන් සදහන් කළේය.
පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart