September 1, 2026

නේපාලයට ඉකුත් සතියේ බලපෑ දරුණු ගංවතුර තත්ත්වයෙන් පසු ජල විදුලි ව්‍යාපෘති උමං මාර්ග තුළ සිරවී සිටින බවට විශ්වාස කෙරෙන සිය ගණනක් පිරිස් වෙත ළඟාවීම සඳහා නේපාල මුදාගැනීමේ කණ්ඩායම්, චීන සහ ඉන්දීය විශේෂඥයන්ගේද සහාය ඇතිව සිය මෙහෙයුම් වේගවත් කර තිබේ.

ගල්, මඩ සහ නායගිය කොටස් සහිත මෙම නොසිතූ ගංවතුර ප්‍රවාහය ඉකුත් බදාදා දිනයේදී නේපාලයේ ගම්මාන සහ නගර මෙන්ම චීන සීමාව හරහාද මහත් විනාශයක් සිදුකරමින් ගලාගිය අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් 900 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී තවත් 5,000 කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇත.

මෙම ඛේදනීය තත්ත්වයට හේතුව හිමකඳු නායයාමක් බවට විශ්වාස කෙරේ.

කඳුකරයේ සිට පහළට ගසාගෙන ආ සිරුරු නේපාලයේ තැනිතලා ප්‍රදේශවල පවතින අධික ආර්ද්‍රතාව සහිත කාලගුණය හමුවේ නරක්වීමට පටන් ගැනීමත් සමඟ, හඳුනානොගත් සිරුරු සිය ගණනක් නොගැඹුරු වළවල් තුළ මිහිදන් කිරීමට පියවර ගෙන තිබේ. නේපාල බලධාරීන් පැවසුවේ දැඩි ලෙස හානියට පත් රසූවා සහ නුවාකොට් යන දිස්ත්‍රික්ක දෙකෙහි ජල විදුලි ව්‍යාපෘති 11 ක සිරවී සිටින බවට විශ්වාස කෙරෙන කම්කරුවන් 933 දෙනා වෙත ළඟාවීම කෙරෙහි මෙහෙයුම්වල ප්‍රධාන අවධානය යොමුකර ඇති බවයි. ඉන් බහුතරයක් දෙනා උමං මාර්ග අටක පමණ සේවයේ නිරතව සිටි අය වෙති.

මුදාගැනීමේ කණ්ඩායම් විසින් ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල දැක්වුණේ රාත්‍රී කාලයේ විදුලි ආලෝකය ඔස්සේ පස් සහ ගල් ඉවත්කිරීමට බැකෝ යන්ත්‍ර යොදාගන්නා අයුරු සහ කම්කරුවන් බලා සිටින අයුරුයි. එක් උමං මාර්ගයකට ඇතුළුවීම සඳහා සෑදූ විශාල වළක් තුළ පරීක්ෂා කිරීමට සෙබළුන් විදුලි පන්දම් ආලෝකය භාවිත කළහ.

ජලය සහ මඩ ඉවත් කරමින් සිරවී සිටින පිරිස් වෙත ළඟාවීම සඳහා සෙවුම් සහ මුදාගැනීමේ කණ්ඩායම් බැකෝ යන්ත්‍ර සහ සෙවුම් ආලෝක ධාරා භාවිත කරන බව නේපාල හමුදාව පැවසීය.

උමං මාර්ග දෙකකට ඇතුළු වූ පසු සිරුරු තුනක් සොයාගැනීමට කණ්ඩායම් සමත් වූ අතර, මඩෙන් යටවී ඇති අනෙකුත් කොටස්වල සෙවුම් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

“විශාල වශයෙන් අපද්‍රව්‍ය සහ පස් තැන්පත් වී තිබීම උමං මාර්ග විවෘත කිරීමට මහත් බාධාවක් වී තිබෙනවා. අපගේ ප්‍රධාන අවධානය යොමුකර තිබෙන්නේ උමං මාර්ග විවෘත කරගැනීමටයි,” යනුවෙන් නේපාල හමුදා ප්‍රකාශක රාජා රාම් බස්නෙට් පැවසීය.