August 26, 2026

ඉන්දීය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන් වන වෛභව් සූර්යවංශි සහ යශස්වි ජයිස්වාල් සම්බන්ධ විනය විරෝධී සිදුවීම් පාලනය කළ ආකාරය ප්‍රශ්න කර ඇති හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සංජේ මංජ්රේකාර්, මේ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මීට වඩා තදින් ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉල්ලා සිටී.

“ළඟදී ඉන්දියා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් වෛභව් සහ දැන් ජයිස්වාල්… ඔබ මෙවැනි හැසිරීම් වලින් ඔවුන්ට පහසුවෙන් ගැලවී යාමට ඉඩ දෙන්නේ නම්, ඔබ ඔවුන්ව පුහුණු කරන්නේ එවැනි හැසිරීම් නැවත නැවතත් කිරීමටයි” මංජ්රේකාර් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.

ඔහුගේ මෙම අදහස් දැක්වීම සිදුවූයේ කොළඹ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇතිවූ ගැටුමකින් පසුව, ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ICC ය විසින් තරග ගාස්තුවෙන් 25% ක දඩයක් සහ විනය විරෝධී ලකුණක් (demerit point) බැගින් පැනවීමෙන් අනතුරුවය.

සුදුසු නොවන ශාරීරික ස්පර්ශයන් සම්බන්ධ ICC චර්යාධර්ම පද්ධතියේ 2.12 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනාම වරදකරුවන් විය.

ඉන්දියානු පළමු ඉනිමේදී අසිත ප්‍රනාන්දු විසින් ජයිස්වාල්ව දවාගැනීමෙන් පසුව මෙම සිදුවීම සිදුවිය. ICCයට අනුව, ජයිස්වාල්, අසිත ප්‍රනාන්දු දෙසට ඇවිද ගිය අතර දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුවී පසුව හිස් එකිනෙක ගැටී ඇත. ක්‍රීඩකයන් දෙදෙනාම තම වරද පිළිගත් අතර පනවන ලද දඬුවම් ද පිළිගත් බැවින්, විධිමත් පරීක්ෂණ අවශ්‍ය නොවීය.

ඉන්දියා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරද්දී වෛභව් සම්බන්ධයෙන් සිදුවූ මෑතකාලීන විනය විරෝධී සිදුවීමක් ගැනද සඳහන් කළ මංජ්රේකාර්, තරුණ ක්‍රීඩකයන්ට සාපේක්ෂව අඩු දඬුවම් ලබා දී නැවත නැවතත් ගැලවී යෑමට ඉඩ හැරීම මෙවැනි හැසිරීම් දිරිමත් කිරීමට හේතුවිය හැකි බවට සඳහන් කරයි.

“එය ක්‍රීඩාවට යහපත් නොවන අතර, වැදගත්ම දේ ඔවුන්ගේම අනාගතයටද එය යහපත් නොවීමයි” යැයි මංජ්රේකාර් පවසයි.