August 22, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ජ්‍යෙෂ්ඨ පිරිමි ක්‍රිකට් වැඩසටහනේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර ඇත.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික අධිශ්‍රේණි කාර්යසාධන මධ්‍යස්ථානය පදනම් කරගනිමින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සමඟ කටයුතු කිරීමට නියමිතය.

1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු වන හෂාන් 1989 සිට 2003 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 83කට සහ එක්දින තරග 200කට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

සිය ක්‍රීඩා කාලය තුළ අන්තර්ජාතික තරග රටා දෙකෙන්ම ලකුණු 8,200කට වඩා රැස් කිරීමට ඔහු සමත් විය.

ඔහු මීට පෙර ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස, ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ
බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇත.