August 21, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජිත ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන’ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ නිර්ණායක පෙත්සමක් ගොනු කර ඇත.

අදාළ පනත් කෙටුම්පත සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර මනාපයකට අමතරව ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ද ලබාගත යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාර සාගර කාරියවසම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ ධුර කාලයන් වෙනස් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට අහිතකර බලපෑමක් ඇති විය හැකි බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

මෙවැනි වෙනස්කම් සිදුකිරීමේදී ජනමත විචාරණයකට යා යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර පිළිගෙන ඇති මූලධර්මවලට මෙම පනත් කෙටුම්පත ද අයත් වන බව පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වේ.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අගෝස්තු 07 වැනි දින ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මෙම පනත් කෙටුම්පත, අගෝස්තු 18 වැනිදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.