August 6, 2026

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් විසින් පවත්වන ලද ජනමාධ්‍ය හමුවකදී, වගා ආයෝජන සමාගමකට අනුග්‍රහය දක්වන බවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරිනියකට එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.

​එක්තරා වගා සමාගමකට අනුග්‍රහය දැක්වූ බවට අමාත්‍යාංශ නිලධාරිනියකට චෝදනා කළද, ඒ සම්බන්ධයෙන් කිසිදු නිශ්චිත තොරතුරක්, නමක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට චෝදනා නගන පාර්ශ්වය අපොහොසත් වී තිබේ. පැහැදිලි හා තහවුරු කළ හැකි තොරතුරක් නොමැතිව පොදුවේ කරනු ලබන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.

​වත්මන් ජාතික ජන බලවේග රජය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සෑම විටම රාජ්‍ය සේවයේ ඉහළම විනිවිදභාවය සහ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය තදින්ම සුරකින අතර, ඕනෑම කරුණක් සම්බන්ධයෙන් සාක්ෂි සහිත යම් ලිඛිත පැමිණිල්ලක් ලැබෙන්නේ නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්වීමට අමාත්‍යාංශය සහ අමාත්‍යවරයා ඕනෑම මොහොතක සූදානම්ව සිටී. එම නිසා කිසිදු පදනමකින් තොරව රාජ්‍ය නිලධාරීන් සහ අමාත්‍යාංශය ඉලක්ක කර ගනිමින් මහජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසත්, යම් චෝදනාවක් ඇත්නම් ඒවා වගකීම් සහගතව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

May be an illustration of text