July 31, 2026

ශ්‍රී ලාංකික කොටියා (Panthera pardus kotiya) සංරක්ෂණය කිරීමේ ජාතික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලාංකික කොටියාගේ දිනය 2026’ (Sri Lankan Leopard Day 2026) වැඩසටහන හෙට (අගෝස්තු 1) පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ 7 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විශේෂඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සංරක්ෂණවේදීන්, පර්යේෂකයන්, රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන, පෞද්ගලික අංශයේ නියෝජිතයන් මෙන්ම තරුණ තරුණියන් රැසක් ද එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවටම ආවේණික උප විශේෂයක් වන ශ්‍රී ලාංකික කොටියා, මෙරට වනාන්තර සහ ස්වාභාවික පාරිසරික පද්ධතීන්ගේ සමතුලිතතාවය පවත්වාගෙන යාමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටුකරන ප්‍රධානතම විලෝපිකයා වේ. පෘථිවියේ වෙනත් කිසිදු ස්ථානයක දැකගත නොහැකි මෙම සත්ව විශේෂය ආරක්ෂා කරගැනීම ජාතික මෙන්ම ගෝලීය වශයෙන්ද ඉහළ වටිනාකමකින් යුක්ත වේ.

කෙසේවෙතත්, වාසස්ථාන කැබලිවීම, මසුන් ඇල්ලීමට හෝ සතුන් දඩයමට තබන තුවක්කු සහ මන්දවලට හසුවීම, වස දීම, මාර්ග අනතුරු සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන හානි ඇතුළු වනජීවී අපරාධ හේතුවෙන් ශ්‍රී ලාංකික කොටියා මේ වන විටත් දැඩි තර්ජනයට ලක්ව සිටියි. මෙම අභියෝගයන් ජය ගැනීම සඳහා විද්‍යාත්මක පදනම, නිසි ප්‍රතිපත්ති, මහජන අවබෝධය සහ ප්‍රජා සහභාගීත්වය පෙරදැරි කරගත් සමාජයේ සියලු අංශවල දැඩි සහයෝගීතාවයක් අවශ්‍ය වේ.

කොටියා සංරක්ෂණය පිළිබඳ ජාතික මට්ටමේ සංවාදයක් සහ ක්‍රියාකාරීත්වයක් ගොඩනැගීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර ඇත. මෙහිදී නවතම විද්‍යාත්මක දැනුම ඉස්මතු කිරීම, ප්‍රායෝගික සංරක්ෂණ විසඳුම් සාකච්ඡා කිරීම සහ ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ ස්වාභාවික උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සියලුම පාර්ශවකරුවන් අතර සබඳතා ශක්තිමත් කිරීම සිදුකෙරෙනු ඇත.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, ශ්‍රී ලාංකික කොටියා ආරක්ෂා කිරීම වනජීවී සංරක්ෂණ කාරණයක් පමණක් නොව එය සමස්ත ජාතියේම වගකීමක් බවයි. මෙම සත්ව විශේෂය සංරක්ෂණය කිරීම මගින් ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතියේ පැවැත්ම සුරක්ෂිත වන අතර, රටේ ස්වාභාවික උරුමය ශක්තිමත් කරමින් සුරක්ෂිත පරිසර පාලනයක් උදෙසා වන කැපවීම නිරූපණය වන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.