July 31, 2026

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අත්වැසුම් නිෂ්පාදන සමාගමක් සතු ‘නිෂ්පාදන රහස්’ සහ ‘වෙළඳ රහස්’ මූල්‍යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට රහසිගත ලෙස හෙළිදරව් කිරීම තුළින් එහි නිලධාරියකු බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත්, ඉන් සිදුවූ පාඩුව වෙනුවෙන් එම නිලධාරියා විසින් අදාළ සමාගමට රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

කටුනායක ප්‍රදේශයේ පිහිටි ඒ.ටී.ජී සිලෝන් පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ සමාගමේ කාර්මික පාලක වශයෙන් සේවය කළ ඒ.එම්.ඒ. අත්තනායක නමැත්තෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

අභියාචක සමාගම කියාසිටියේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ තමන් රබර් කිරි උපයෝගී කර ගනිමින් ‘කාර්මික අත්වැසුම්’ නිෂ්පාදනය කර බෙදාහැරීම සිදුකරන බවයි.

මෙම අත්වැසුම් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට අදාළ තාක්ෂණය හා රහසිගත කරුණු සම්බන්ධයෙන් තම සමාගම අන්තර්ජාතික පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබෙන බවත් අභියාචනයේ සඳහන් කර තිබේ.

මෙහි වගඋත්තරකාර අත්තනායක නමැත්තා, 2000 වසරේදී පුහුණුවන කාර්මික ක්‍රියාකාරිකයෙකු වශයෙන් සේවයට එක්ව ඇති අතර, ඔහුගේ හැකියාවන් සැලකිල්ලට ගෙන ‘කාර්මික පාලක’ තනතුර දක්වා උසස් කෙරුණු බවත් අභියාචක සමාගම සඳහන් කරයි.

ඔහු දක්ෂ කඩිසර මෙන්ම විශ්වාසවන්ත සේවකයකු වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම අත්වැසුම් නිෂ්පාදනය කිරීමට අදාළ තාක්ෂණික මෙන්ම වෙළඳ රහස් පිළිබඳව ඔහුට පුහුණුවක් ලබා දී තිබූ බවත් අභියාචක සමාගම සඳහන් කරයි.

වසර දහයකට වැඩි කාලයක් සේවය කළ මෙම වග උත්තරකරු 2010.11.04 හෝ ඊට ආසන්න දිනකදී දැනුම්දීමකින් තොරව රැකියාවෙන් ඉවත් වූ බවත් 2010.11.25 දින ඒ බව දැනුම් දෙමින් ලිපියක් එවා තිබූ බවත් අභියාචනයේ සඳහන් වේ.

තම සමාගමේ රැකියාවේ යෙදී සිටියදී වගඋත්තරකරු කොරියානු අත්වැසුම් නිෂ්පාදන සමාගමක් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති බවත්, තම සමාගමේ අත්වැසුම් නිෂ්පාදන රහස් සහ වෙළඳ රහස් මූල්‍යමය වාසි අපේක්ෂාවෙන් වගඋත්තරකරු විසින් කොරියානු සමාගමට පවරාදී ඇති බවත් අභියාචක සමාගම කියා සිටියි.

මේ තුළින් බුද්ධිමය දේපල පනත යටතේ වගඋත්තරකරු විසින් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් පැමිණිලිකාර සමාගම විසින් කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුව ගොනුකර තිබේ.

ඒ අනුව තම නිෂ්පාදන තාක්ෂණය හා වෙළඳ රහස් වගඋත්තරකරු විසින් වෙනත් සමාගම් වලට පැවරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් එම සමාගම කොළඹ වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ක්‍රියාව තුළින් සිදුවූ පාඩුව වෙනුවෙන් වගඋත්තරකරුගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙසත් අදාළ සමාගම විසින් වාණිජ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් වගඋත්තරකරු වාණිජ මහාධිකරණයට සිය විත්ති වාචකය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබුණේ පැමිණිලිකාර ආයතනයේ නිෂ්පාදන රහස් සහ වෙළඳ රහස් පිළිබඳ තොරතුරු කිසිවක් තමා අත්පත් කරගෙන නොමැති බවත්, සිය අධ්‍යාපන සුදුසුකම් සහ තනතුර සැලකිල්ලට ගෙන එවැනි දියුණු තාක්‍ෂණයක් සහ ක්‍රියාවලීන් තේරුම් ගැනීමට හෝ අත්පත් කර ගැනීමට තමන්ට හැකියාවක් නොතිබූ බවත්ය.

එමෙන්ම පෙත්සම්කාර සමාගමේ කිසිදු රහසිගත තොරතුරක්, වෙළඳ රහස් හෝ නිෂ්පාදන තාක්ෂණික රහස් කිසිවක් තමා විසින් තෙවැනි පාර්ශ්වයකට ලබාදී නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා කියාසිටියේ, පැමිණිලිකාර සමාගම කියා සිටි ආකාරයට අත්වැසුම් නිෂ්පාදන රහස් සහ වෙළඳ රහස් පිළිබඳ තොරතුරු වගඋත්තරකරු වෙත ලබා දී තිබූ බවට ඔප්පු කිරීමට පැමිණිලිකාර සමාගම අපොහොසත් වී ඇති බවයි.

විත්තිකරුගේ අධ්‍යාපන පසුබිම සැලකිල්ලට ගැනීමේදී එවැනි දියුණු තාක්ෂණය, දැනුම, වෙළඳ රහස් පිළිබඳ තොරතුරු අවබෝධ කර ගැනීමට හෝ වෙනත් පාර්ශයකට ලබා දීමට වගඋත්තරකරුට හැකියාවක් නොමැති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබිණි.

මෙම වාණිජ මාහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තියට පත් පැමිණිලිකාර සමාගම එය ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

එය විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන, ” වාණිජ මහාධිකරණ විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි මනා ලෙස විශ්ලේෂණය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු කර නැහැ. ඉදිරිපත් වූ සාක්ෂි මගින් තහවුරු වන්නේ වගඋත්තරකරු රැකියාව කරන අතරතුර අදාළ සමාගමේ නිෂ්පාදන රහස් සහ වෙළඳ රහස් මෙන්ම සංවේදී තොරතුරු මූල්‍යමය වාසියක් උදෙසා තුන්වැනි පාර්ශ්වයක් වෙත හෙළිදරව් කර තිබෙන බවයි. ඒ අනුව පැමිලිකර සමාගමට අයත් වෙළඳ රහස්, නිෂ්පාදන රහස් මෙන්ම සංවේදී තොරතුරු තුන්වන පාර්ශ්වයක් වෙත සන්නිවේදනය කිරීම සහ පෙත්සන්කාර සමාගමට හිමි පේටන්ට් බලපත්‍රය ප්‍රකාරව එවැනි සංවේදී තොරතුරු වෙනත් සමාගමකට විකිණීම හෝ සුරා කෑම වළක්වමින් වගඋත්තරකරු වෙත තහනමක් නිකුත් කිරීමට තීරණය කරමි.” යනුවෙන් නියෝග කර සිටියේය.

මෙම ක්‍රියාව හරහා අභියාචක සමාගමට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 50ක් ලෙස අධිකරණය විසින් තක්සේරු කරන බවත් ඒ අනුව වගඋත්තරකරු විසින් රුපියල් මිලියන 50ක මුදලක් සහ නඩු ගාස්තු අභියාචක සමාගම වෙත ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව 2019.03.29 වනදා කොළඹ වාණිජ මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ඉවත දමන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙහිදී අභියාචක සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රම් මොහොමඩ් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටි අතර, වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටියහ.