July 30, 2026

අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව ගෙන යන පියවරට ශ්‍රී ලංකා ඇංග්ලිකානු සභාව හෙවත් ලංකා සභාව (Church of Ceylon) සිය දැඩි විරෝධය පළ කර ඇති අතර, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා සභාව සඳහන් කරන්නේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය සමඟ ඉදිරියට යෑමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳ තමන් දැඩි කනගාටුවට සහ කලකිරීමට පත්වන බවයි.

මෙවැනි පියවරක් මගින් නීතියේ ආධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය පිළිබඳව මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවටද සභාව අනතුරු අඟවයි.

යෝජිත සංශෝධනයේ ඇති විය හැකි අහිතකර බලපෑම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සමස්ත නීති ක්ෂේත්‍රය සහ සිවිල් සමාජය මතු කළ කරුණු කෙරෙහි ජනාධිපතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බවද එහි දැක්වේ.

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා මෙම සංශෝධනය අත්‍යවශ්‍ය බවට රජය දක්වන හේතු සාධාරණීකරණය කළ නොහැකි බව පෙන්වා දෙන ලංකා සභාව, අභියාචනාධිකරණයේ පුරප්පාඩු රැසක් පවතිද්දී ඊට නිසි හෝ සාධාරණ හේතුවක් දැක්වීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවද පවසයි.

“එබැවින්, මෙම සංශෝධනය පිටුපස ඇති සැබෑ අරමුණ යහපත් එකක් නොවන බව නිගමනය කිරීමට සිදු වනවා,” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, වගවීම සහ නියෝජනය තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම, ස්වාධීන ආයතන බලගැන්වීම, මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක් ඇතුළත් කිරීම සහ සුළුතර ජන කොටස්වල ගැටලුවලට විසඳුම් ලබාදීම ඇතුළත් පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව මෑතකදී පැවැති ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිටම තමන් අවධාරණය කළ බවද ලංකා සභාව සිහිපත් කරයි.

කෙසේවෙතත්, ලබාදුන් පොරොන්දු ඉටු කරමින් එවැනි පුළුල් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති අතර, මෑත කාලීන ව්‍යවස්ථා සංශෝධන සංවාදවලදී හෝ මැතිවරණ ව්‍යාපාරවලදී කිසිසේත් සාකච්ඡා නොවූ කරුණක් වෙනුවෙන් මෙලෙස හදිසියේ සංශෝධනයක් ගෙන ඒම කනගාටුදායක බව සභාව පෙන්වා දෙයි.

“මෑත කාලීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සංවාදවලදී හෝ අවසන් ජාතික මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවලදී මතු නොවූ කරුණක් වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට තීරණය කිරීම තුළ සාදචාරාත්මක නීත්‍යනුකූලභාවයක් හෝ ව්‍යවස්ථාපිත ඖචිත්‍යයක් නැහැ,” යැයි එම නිවේදනයේ දැක්වේ.

හදිසියේ, තාවකාලික සහ පුද්ගල කේන්ද්‍රීය පදනමකින් ගෙන එන ලද මෙම ව්‍යවස්ථා සංශෝධනයට හේතු වූ කරුණු පිළිබඳ විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ නායකත්වයන් ස්වයං විවේචනයක යෙදිය යුතු බවද ලංකා සභාව අවධාරණය කරයි.

විපක්ෂයේ සිටින විට ස්වාධීන ආයතන වෙනුවෙන් පෙනී සිටිමින්, බලයට පත්වූ පසු විධායකයේ පහසුව සහ පෞද්ගලික වාසි තකා කටයුතු කරන දේශපාලන නායකයන්ගේ පිළිවෙතද මෙහිදී සභාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

එබැවින්, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ලංකා සභාව ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් නැවතත් ඉල්ලා සිටියි.