July 30, 2026

නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් මාලඹේ ප්‍රදේශයේ ඉදිකරනු ලබන ‘ක්‍රෙසෙන්ඩෝ’ මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලින් 85%කට වඩා මේ වන විට අවසන්ව ඇති බව එම අධිකාරිය පවසයි.

කඩුවෙල-මාලඹේ ප්‍රදේශයේ පිහිටි මෙම ව්‍යාපෘතිය මහල් 20කින් සමන්විත වන අතර, එහි ඇති සමස්ත නිවාස සංඛ්‍යාව 256කි.

වර්ග අඩි 920කින් යුත් නිවාස ඒකක 128ක් සහ වර්ග අඩි 700කින් යුත් නිවාස ඒකක 128ක් ඊට ඇතුළත් වේ.

2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2022 වසරේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.

කෙසේවෙතත්, නාගරික සංවර්ධන අධිකාරිය අදාළ කොන්ත්‍රාත්කරුවන් සමඟ නව ගිවිසුම්වලට එළඹීමෙන් අනතුරුව 2025 වසරේදී මෙහි වැඩකටයුතු නැවත ආරම්භ කෙරිණි.

රුපියල් මිලියන 4,375ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ නිවාස, මෙම වසර අවසන් වීමට පෙර පදිංචිකරුවන් වෙත භාරදීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර ඇත.