July 30, 2026

ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡාවක් පසුගිය සඳුදා (27) පවත්වා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන ප්‍රකාශ් කරාට් සහ බ්‍රින්දා කරාට් පක්ෂ මූලස්ථානයේදී හමුවී ඇති අතර, මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, අමාත්‍ය බිමල් රත්නායක ද එක්ව සිටියේය.

2005 සිට 2015 දක්වා ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය – මාක්ස්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ ප්‍රකාශ් කරාට්, 2025 අප්‍රේල් මාසයේදී සීතාරාම් යෙචුරිගේ අභාවයෙන් පසුව එහි සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළේය.

ඔහු සමඟ පැමිණි බ්‍රින්දා කරාට් ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පත් වූ ප්‍රථම කාන්තාව වන අතර සමස්ත ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය කාන්තා සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්වරියද වන්නීය.

ශ්‍රී ලංකාව තුළ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ලැබූ දේශපාලන ජයග්‍රහණ, මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සහ මහජන සුබසාධනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ කෙරෙහි මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වී ඇත.

එමෙන්ම වතු කම්කරුවන්ගේ වේතන ඉහළ නැංවීම සඳහා රජය මැදිහත් වූ ආකාරය, දූෂණය තුරන් කිරීම සහ වරප්‍රසාද මත පදනම් වූ දේශපාලනය අවසන් කරමින් යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට ගෙන ඇති පුළුල් පියවර පිළිබඳවද දෙපාර්ශ්වය අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.