July 29, 2026

පෞද්ගලික රෝහල් සහ රසායනාගාර මඟින් සිදුකරනු ලබන Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවන් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පනවා ඇති පාලන මිල (උපරිම ගාස්තුව රු. 400/-) ඉක්මවා මුදල් අයකරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත්කර ඇති විධාන අංක 67 උල්ලංඝනය කළ වවුනියාව, රෝහල් පාරේ පිහිටි ‘අබිෂා හොස්පිට්ල්’ (Abisha Hospital Pvt Ltd) ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.14 දින සිදුකළ විශේෂ වැටළීමකදී, රුපියල් 400/- ක පාලන මිල පැවති FBC පරීක්ෂාවක් සඳහා මෙම රෝහල මඟින් රුපියල් 550/- ක මුදලක් අය කිරීමේ චෝදනාව අනාවරණය කරගෙන ඇත.

මෙම නඩුව 2026.07.28 වැනි දින වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විසින් විත්තිකාර රෝහල් සමාගමට රුපියල් 500,000/-ක දඩ මුදලක් නියම කිරීමට පියවර ගෙන තිබේ.