July 29, 2026

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට තමන් සහාය පළකරන බවත්, සන්නද්ධ හමුදාවන් සඳහා ද එවැනි පියවරක් ගත්තේ නම් එය අගය කරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසීය.

මහජන උත්සවයකදී අදහස් දක්වමින් සරත් ෆොන්සේකා කියාසිටියේ, හමුදා නිලධාරීන්ට තම සේවා කාලය නිමකිරීමෙන් පසු විශ්‍රාම යාමට සිදුවන අතර, පවුලේ සහ මූල්‍යමය වගකීම් පැවතුණද බොහෝදෙනකු වයස අවුරුදු 50 ත් 55 ත් අතර කාලය තුළ සේවයෙන් ඉවත් වන බවයි.

එසේම රජයේ සේවකයන් වයස අවුරුදු 60 දී විශ්‍රාම යන බවත්, එම වයසේදීත් බොහෝදෙනෙකුගේ දරුවන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනීසිටින බවත් ඔහු පෙන්වාදුන්නේය.

ඇතැම් දියුණු රටවල සිදුවන පරිදි විශ්‍රාම යන වයස ඉහළ නැංවීම මගින් පුද්ගලයකුගේ රාජකාරි ඉටුකිරීමේ හැකියාවට අනිවාර්යයෙන්ම බාධාවක් නොවන බව සරත් ෆොන්සේකා පැවසීය.

“මම විශ්‍රාම අරන් දැනට අවුරුදු 20 ක් වෙනවා. මගේ මොළය හොඳට වැඩ කරනවා. මට අද හමුදාපතිධුරය දුන්නත් මට ඒක කරන්න පුළුවන්, හැබැයි මම ඒක බාරගන්නේ නැහැ” යි ඔහු පැවසීය.

එක්සත් ජනපදය වැනි රටවල වයස අවුරුදු 70 දක්වා සේවය කරන විනිසුරුවන් සිටින අතර, ඇතැම් හමුදාපතිවරුන් ද 70 දශකයේ පසුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.