July 29, 2026

පානදුර වෙරළ තීරයේ ‘Physalia’ හෙවත් සාමාන්‍යයෙන් ‘බ්ලූ බොට්ල්’ (Blue Bottle) ලෙස හැඳින්වෙන ජෙලිෆිෂ් විශේෂයේ ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා ආයතනය) පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, වෙරළට පැමිණි පිරිසක් උන්ගේ දෂ්ටනයට ලක්වීමත් සමඟ මහජනතාව වෙත ආරක්ෂිත උපදෙස් ද නිකුත් කර තිබේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ, පනාදුර වෙරළාශ්‍රිත ප්‍රදේශයේ ජෙලිෆිෂ් වැඩිවීමක් පිළිබඳව පානදුර නගර සභාව විසින් නාරා ආයතනය වෙත දැනුම්දීමෙන් පසුවය.

තත්ත්වය පරීක්ෂා කිරීම, ජෙලිෆිෂ් විශේෂය හඳුනාගැනීම සහ මහජනතාවට ඇතිවිය හැකි අවදානම තක්සේරු කිරීම සඳහා නාරා නිලධාරීන් ඊයේ(28) සවස වෙරළ තීරය වෙත ගොස් ඇත.

නාරා ආයතනයේ නිලධාරියකු පැවසුවේ පනාදුර වෙරළ තීරය පුරාම මෙම ‘බ්ලූ බොට්ල්’ ජෙලිෆිෂ් ගොඩගැසීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

පෙරේදා(27) දිනයේදී පනාදුර වෙරළේ දිය නාමින් සිටි පිරිසක් ජෙලිෆිෂ් දෂ්ටනයට ලක්වීමේ සිදුවීමක් වාර්තා වීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇත. අදාළ පිරිස රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමෙන් පසුව පිටව ගොස් තිබේ.

‘බ්ලූ බොට්ල්’ ජෙලිෆිෂ් උන්ගේ වේදනාකාරී දෂ්ටනය නිසා ප්‍රකටව අතර, ඇතැම් අවස්ථාවලදී එමගින් අධික වේදනාවක්, අසාත්මිකතා සහ ශ්වසන අපහසුතා පවා ඇති විය හැක.

ජෙලිෆිෂ් සිටින බවට වාර්තා වී ඇති ප්‍රදේශවල මුහුදට බැසීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙසත්, අදාළ බලධාරීන් විසින් නිකුත් කරනු ලබන ආරක්ෂිත උපදෙස් පිළිපදින ලෙසත් නාරා ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.