July 28, 2026

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

අද උදෑසන ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමක් සලකා බැලීම සඳහාය.

නීතිපතිවරයාගේ උපදෙස් මත මොහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පානදුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබුණද, එම අවස්ථාවේ ඔහු නිවසේ රැඳී සිට නැත.

අනතුරුව ගම්පහ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලත් තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් විසින් ඉකුත් ජූලි 15 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.