July 28, 2026

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය.

ඉකුත් නඩු දිනයේ සැකකරුවන්ගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව අද දින ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම සඳහන් කළේ, එක් එක් සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.

ශරීර ඇපකරුවන් ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපළ පවතින බවට සහතික අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය සඳහන් වුණා.

සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කෙරිණි.

ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂත බන්ධනාගාරයක රැඳවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තුන්දෙනා අල්ලස් කොමිසම මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.