July 28, 2026

පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට නියෝග කිරීමෙන් පසුව, අමෙරිකානු හමුදා සෙබළුන් අවම වශයෙන් 624 දෙනෙකු හෝ තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (පෙන්ටගනය) ජූලි 25 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවල දැක්වේ.

එලෙස තුවාල ලැබූවන් අතුරින් 417 දෙනෙකු ‘එපික් ෆියුරි මෙහෙයුම’ අතරතුර තුවාල ලබා ඇති අතර, තවත් 207 දෙනෙකු විදේශීය මෙහෙයුම් යටතේ තුවාල ලැබූවන් ලෙස වර්ගීකරණය කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී අමෙරිකාව සහ ඉරානය අතර සන්ධානයකට එළඹුණු අතර ජූනි මාසයේදී අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබන ලදී. එහෙත් එම කාලසීමාව පුරාම දෙපාර්ශ්වයෙන්ම ප්‍රහාර එල්ල වීම නතර වී නොතිබුණි.

පසුගිය සතියේදී පෙන්ටගනය විසින් මෙම ගැටුම්වලින් මියගිය සහ තුවාල ලැබූ සංඛ්‍යාලේඛන සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ‘එපික් ෆියුරි මෙහෙයුමෙන්’ මියගිය සෙබළුන් සිව්දෙනෙකුගේ නම් ඉවත් කර, ඔවුන් ‘විදේශීය මෙහෙයුම්වලදී’ මියගිය අය ලෙස නැවත වර්ගීකරණය කර ඇත.

පෙන්ටගනයේ ආරක්ෂක විශ්ලේෂණ අනතුරු පද්ධතියට අනුව මුලින් එල්ල වූ ප්‍රහාරය ලෙස හැඳින්වෙන ‘එපික් ෆියුරි මෙහෙයුමෙන්’ මියගිය සංඛ්‍යාව පසුගිය අඟහරුවාදා වන තෙක් 18ක් ලෙස සටහන් වී තිබූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 482ක් විය.

නමුත් පසුව කිසිදු පැහැදිලි කිරීමකින් තොරව එම මියගිය පිරිසෙන් හතරදෙනෙකුගේ නම් ඉවත් කර ඇති අතර, ඒ අනුව බ්‍රහස්පතින්දා වන විට එම මෙහෙයුමේ මරණ සංඛ්‍යාව 14 දක්වා පහත වැටුණි.

එසේ ඉවත් කරන ලද සෙබළුන් සිව්දෙනාගේ නම් මේ වන විට සටහන් කර ඇත්තේ 2026 ජූලි 7 වැනිදායින් පසු සිදුවූ අනතුරු මැන බලන ‘විදේශීය මෙහෙයුම්’ ලැයිස්තුවට යටතේය. එම ලැයිස්තුවේ දැනට වාර්තා වී ඇති එකම මරණ හතරද මෙය වෙයි.

මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ සංඛ්‍යාලේඛන මෙලෙස නිල පැහැදිලි කිරීමකින් තොරව නිහඬව වෙනස් කිරීම මගින් පෙන්ටගනයේ පාරදෘශ්‍යභාවය බරපතල ලෙස බිඳ වැටෙන බවට මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතී.