July 28, 2026

සුප්‍රසිද්ධ බදුල්ල දුන්හිඳ දියඇල්ල පරිශ්‍රයේ රුපියල් මිලියන 20ක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත නව නැරඹුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (27) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහගේ ප්‍රධානත්වයෙන්, දැනට පවතින නැරඹුම් පීඨිකාව අසලදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

වසර 50 කට වඩා පැරණි, දැනට අබලන් තත්ත්වයේ පවතින නැරඹුම් පීඨිකාව වෙනුවට මෙම නව නැරඹුම් මධ්‍යස්ථානය ඉදිකරනු ලබයි.

ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය විසින් මෙහි ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 20ක මුදලක් වෙන්කර ඇත.

දේශීය හා විදේශීය සංචාරකයන්ට දියඇල්ල නැරඹීම සඳහා වඩාත් හොඳ පහසුකම් සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් සපයා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.

එසේම, නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, ඌව පළාතේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමත් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න සහ රාජ්‍ය නිලධාරීහු රැසක් ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.