July 27, 2026

පානදුර මුහුදු වෙරළ තීරයට විශාල වශයෙන් ජෙලිෆිෂ් මත්ස්‍යන් ගොඩගැසීම හේතුවෙන්, මුහුදේ දියනාමින් සිටි කුඩා ළමයින් සිව්දෙනකු ඇතුළු පුද්ගලයන් දසදෙනකු පමණ තුවාල ලබා ඇති බව පානදුර වෙරළ ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

ඉරිදා නිවාඩු දිනය වූ ඊයේ(26) පස්වරුවේ පානදුර වෙරළට පැමිණි ජනතාව මුහුදේ දියනාමින් සිටියදී, සිරුරේ ජෙලිෆිෂ් ස්පර්ශ වීම නිසා මෙලෙස තුවාල ලබා තිබේ.

ඊයේ පස්වරු කාලයේදී පමණක් කුඩා ප්‍රමාණයේ ජෙලිෆිෂ් මත්ස්‍යන් 300 කට ආසන්න සංඛ්‍යාවක් පානදුර වෙරළ තීරයට ගොඩගසා තිබූ බව ජීවිත ආරක්ෂක නිලධාරීහු සඳහන් කරති.

ජෙලිෆිෂ් සිරුරේ වදිනු ලැබූ කිහිපදෙනකුම ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයකු පවසා ඇත.

තත්ත්වය තවදුරටත් බරපතළ වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය, ඒ වන විටත් මුහුදේ දියනාමින් සිටි සියලුම පිරිස් වහාම වෙරළ තීරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

වෙරළට පැමිණෙන ජනතාවට මේ දිනවල මුහුදේ බැසීමේදී වැඩි අවධානයකින් පසුවන ලෙස ආරක්ෂක අංශ ඉල්ලා සිටියි.