July 26, 2026

රුපියල් මිලියන 201.89කට (කෝටි 20කට) අධික වටිනාකමකින් යුත් ‘හෂීස්’ මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට රහසිගතව ගෙන ඒමට උත්සාහ කළ කැනඩා ජාතිකයකු බණ්ඩාරනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අද (26) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන වෘත්තියෙන් තීන්ත ආලේප කරන්නකු ලෙස කටයුතු කරන කැනේඩියානු ජාතිකයෙකි.

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිලදී ගෙන, දෝහා හරහා කටාර් රාජ්‍යයේ සිට කටාර් එයාර්වේස් සේවයට අයත් QR-662 දරන ගුවන් යානයෙන් අද අලුයම 2.30ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සැකකරුගේ ගමන් බෑග් දෙක පරීක්ෂා කිරීමේදී, එහි සඟවා තිබූ තද දුඹුරු පැහැති හෂීස් මත්ද්‍රව්‍ය පැකට් 80ක් සොයාගෙන තිබේ.

එහි සමස්ත බර කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 117ක් ලෙස සටහන් විය.

සැකකාර කැනඩා ජාතිකයා සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (PNB) නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.