July 26, 2026

පුද්ගලක් සමඟ උණුසුම් ලෙස බහින්බස් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වීමෙන් අනතුරුව, වතුපිටිවල ආයෝජන කලාප පොලිස් මුරපොළට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ජූලි 23 වැනිදා පෙරවරු 10.45 ට පමණ වතුපිටිවල රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික ආයතනයක් ඉදිරිපිටදී මෙම සිදුවීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

නිල ඇඳුමින් සිටි අදාළ නිලධාරියා රාජකාරියේ නිරත නිලධාරියකුට නොගැළපෙන අයුරින් හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක අයුරින් බැණ වැදී ඇති බව අනාවරණය වී ඇත.

මෙම හැසිරීම ශ්‍රී ලංකා පොලිසියට මෙන්ම සමස්ත රාජ්‍ය සේවයටම අපකීර්තියක් ගෙන දෙන අතරම, අනෙකුත් නිලධාරීන්ටද නරක පූර්වාදර්ශයක් සපයන බව පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව, ආයතන සංග්‍රහයේ විධිවිධානවලට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

නීතිය සහ විනය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන්ගේ මෙවැනි නුසුදුසු හෝ අක්‍රමවත් හැසිරීම් කිසිසේත්ම අනුමත නොකරන බවද ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.