July 26, 2026

ගමන් බෑග් තුළ සඟවාගෙන නීතිවිරෝධී ලෙස විදේශීය පරවියන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට රහසිගතව ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සහෝදරයන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව පියවර ගෙන තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 42 යන වයස්වල පසුවන මෙම ගුවන් මගීන් දෙදෙනා 2026 ජූලි 25 වැනිදා එමිරේට්ස් සේවයට අයත් EK652 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.

එදින පස්වරු 7.15ට පමණ ගුවන්තොටුපොළ ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටතට යෑමට උත්සාහ කිරීමේදී රේගු නිලධාරීන් විසින් ඔවුන්ගේ ගමන් බෑග් පරීක්ෂාවට ලක්කර තිබේ.

එහිදී ගමන් බෑග් 8ක් තුළ තිබූ ලෝහමය කූඩු 12ක සඟවා සිටි පරවියන් 64 දෙනෙකු සොයාගැනීමට හැකිවී ඇත.

කෙසේවෙතත්, අදාළ පරික්ෂාව සිදුකරන අවස්ථාව වන විටත් එම පරවියන් අතරින් අටදෙනෙකු බෑග් තුළ අධික ලෙස තෙරපීම හේතුවෙන් මියගොස් සිටි බව රේගුව පවසයි.

ආනයනය කිරීමට උත්සාහ කළ මෙම පරවියන්ගේ සමස්ත වටිනාකම රුපියල් 3,431,400ක් පමණ වන බවට ගණන් බලා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන ලද රේගු පරීක්ෂණයෙන් අනතුරුව, එක් මගියෙකුට රුපියල් 400,000ක දඩයක්ද, අනෙක් මගියාට රුපියල් 100,000ක දඩයක්ද වශයෙන් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කෙරිණි.

එමෙන්ම, ඉතිරි පරවියන් නැවතත් ඔවුන් ගෙන ආ ඉතාලිය වෙතම ප්‍රතිඅපනයනය කිරීමට රේගු බලධාරීන් නියෝග කර තිබේ.