July 26, 2026

රේගු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද විවිධ වර්ගයේ සිගරට් 36,200 ක් සමඟ මැලේසියානු ජාතිකයෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි සිමනන් ලයිෆ් හෝටලයේ රථ ගාලේදී ජූලි 25 වැනිදා සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය සඳහන් කළේ අදාළ සිගරට් තොගය ප්‍රවාහනය කිරීම සඳහා කුලී රථයකට පටවමින් තිබූ අවස්ථාවේදී මෙම වැටලීම සිදුකර ඇති බවයි.

සිගරට් තොගය සමඟින් අදාළ කුලී රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 30 හැවිරිදි වියේ පසුවන මැලේසියානු ජාතිකයකු වන අතර, ඔහුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.