July 26, 2026

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය නියෝජනය කරන’ජැෆ්නා කින්ග්ස්’ (Jaffna Kings) කණ්ඩායමේ හිමිකාරීත්වය දැරූ ‘Sports Commune’ ආයතනය සමඟ පැවැති ගිවිසුම අහෝසි කිරීමට තරගාවලියේ සංවිධායකයන් වන IPG (Innovative Production Group) සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ආයතනය පියවර ගෙන තිබේ.

අදාළ සමාගම ගිවිසුම්ගත මූල්‍ය වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම මෙම තීරණයට නිල හේතුව ලෙස දක්වා ඇත.

කෙසේවෙතත්, ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ සම හිමිකරුවකු වන හිටපු ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක මන්ජෝට් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම අර්බුදය හටගෙන තිබිණි.

ගිවිසුම අහෝසි කිරීමත් සමඟ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ සියලු හිමිකම් සහ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමාගම වෙත පැවරී ඇත.

මෙම වෙනස හේතුවෙන් තරගාවලියට හෝ කණ්ඩායමේ ඉදිරි තරග සඳහා කිසිදු බාධාවක් සිදු නොවන බව සංවිධායකයෝ පවසති.

ඒ අනුව ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම එම නමින්ම සහ පවත්නා ක්‍රීඩක සංචිතය සහිතව තරගාවලියට ඉදිරියටත් එක්වනු ඇත.

ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහායක කාර්ය මණ්ඩලයේ සියලු කොන්ත්‍රාත් හා ගෙවීම් පිළිබඳ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG ආයතනය විසින් භාරගෙන ඇත.

හිඟව තිබූ ක්‍රීඩක සහ කාර්ය මණ්ඩල දීමනාවලින් 90%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් පියවා නිමකර තිබේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ විනිවිදභාවය, නීත්‍යනුකූලභාවය සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම කඩිනම් පියවර ගත් බව IPG සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් වැඩිදුරටත් සඳහන් කළේය.