July 26, 2026

ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන සඳහා 10% ක බද්දක් පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කිරීම, මෙරට ප්‍රධානතම අපනයන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවල තරඟකාරිත්වය පවත්වා ගැනීමට සහායක් වන බව ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය (EASL) ප්‍රකාශ කරයි.

මීට පෙර යෝජනා වී තිබූ ඉහළ බදු අනුපාතයන්ට සාපේක්ෂව මෙම 10% බදු අනුපාතය සැළකිව යුතු යහපත් තත්ත්වයක් බවත්, එමගින් ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට යම් නිශ්චිතභාවයක් ලැබෙන බවත් එම සංගමය පෙන්වා දෙයි.

ඇමෙරිකානු බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවලදී අපනයනකරුවන් සහ එම ක්ෂේත්‍රය මත යැපෙන දහස් සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් සුරැකීමට මැදිහත් වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයේ නිලධාරීන්ට අපනයනකරුවන්ගේ සංගමය සිය කෘතඥතාව පළ කර සිටියි.

අපනයනකරුවන්ගේ සංගමයට අනුව, මෙම බදු අනුපාතය හේතුවෙන් බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ කාම්බෝජය වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරඟකාරී රටවල් සමඟ එක හා සමාන මට්ටමක සිටීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ.

විශේෂයෙන්ම ඇඟලුම් වැනි ලාභ සීමා අඩු, විදෙස් මිලදී ගන්නන් විසින් වියදම් ඉතා සූක්ෂමව සංසන්දනය කරන කර්මාන්ත සඳහා මෙවැනි සම බදු මට්ටමක් පවත්වා ගැනීම අතිශය වැදගත් බව සංගමය පෙන්වා දෙයි.

බදු ප්‍රතිශතයේ 2.5%ක වැනි සුළු වෙනසකින් වුවද ශ්‍රී ලංකාවේ තරඟකාරිත්වයට විශාල බලපෑමක් විය හැකි බවද ඔවුන් සඳහන් කර තිබේ.

මෙම තීරණය සාදරයෙන් පිළිගන්නා අතරම, දෙරට අතර වඩාත් ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි වෙළෙඳ පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා එක්සත් ජනපදය සමඟ සමස්ත ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමට පියවර ගන්නා ලෙසද අපනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.