July 26, 2026

දූෂණයෙන් තොර ආදර්ශවත් රාජ්‍ය පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව, සියලුම රාජ්‍ය සේවකයන් සහ පාසල් සිසුන් සඳහා ‘අඛණ්ඩත්වයේ ප්‍රතිඥාව’ (Integrity Oath) ලබාදීම අනිවාර්ය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ජූලි 27 සිට 31 දක්වා ප්‍රකාශයට පත් කර ඇති ‘2026 ජාතික අඛණ්ඩතා සතිය’ ආරම්භ කරමින් සියලුම රාජ්‍ය අංශයේ සේවකයන් හෙට (ජූලි 27) දිනයේදී මෙම ප්‍රතිඥාව ලබා දීමට නියමිතය.

දැනට පැවැත්වෙන වාර විභාග අවසන් වීමෙන් පසු, පාසල් සිසුන් සඳහා මෙම ප්‍රතිඥාව ලබාදීම ලබන අගෝස්තු 03 වැනිදා සිදු කිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති ලේකම් එන්. එස්. කුමානායක විසින් පළාත් සභා, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, ජනාධිපති කාර්යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

හෙට දිනයේදී සියලුම රාජ්‍ය සේවකයන් තමන් සේවය කරන ආයතනවලට රැස්වී මෙම ජාතික අවංකත්වයේ ප්‍රතිඥාව ලබා දෙමින් අඛණ්ඩතා සතිය සමාරම්භ කළ යුතු බවට උපදෙස් දී ඇත.

මීට පෙර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මෙම වැඩසටහන, පැවැති ‘දිට්වා’ ආපදා තත්ත්වය සහ බලශක්ති අර්බුදය හේතුවෙන් කල් දැමීමට සිදු විය.

ජනාධිපති ලේකම්වරයා සඳහන් කරන පරිදි, මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ බාහිර නිරීක්ෂණයකට හෝ අධීක්ෂණයකට ලක්වන්නේද නැද්ද යන්න නොසලකා, පෞද්ගලික ලාභයට වඩා පොදු මහජන සුභසිද්ධියට මුල්තැන දෙමින්, යහපත් මෙන්ම සන්සුන් ලීලාවෙන්, ආචාරධර්මීය වටිනාකම් සහ ප්‍රතිපත්තිමය ප්‍රමිතීන්ට අනුකූලව සේවය සපයන ස්වයං-හික්මීමකින් යුතු අවංකත්වයේ පිරි රාජ්‍ය නිලධාරියෙකු බිහිකිරීමයි.

සෑම රාජ්‍ය ආයතනයකම ස්ථාපිත කර ඇති අභ්‍යන්තර කටයුතු ඒකක හරහා මෙම අඛණ්ඩතා සතිය ක්‍රියාත්මක කරන ලෙස ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව ජනාධිපති කාර්යාංශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව පිහිටුවන ලද මෙම ඒකක මගින්, ආයතන තුළ සිදුවන යම් අක්‍රමිකතාවයක් හෝ දූෂණයක් පිළිබඳ පැමිණිලි සෘජුව හෝ නිර්නාමිකව භාරගැනීම සිදුකරයි.

රටේ ඇතැම් ආයතන සහ නිලධාරීන් අතර මුල් බැසගෙන ඇති දූෂිත මනෝභාවයන් මුලිනුපුටා දැමීම වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණ බව පෙන්වා දෙන මෙම චක්‍රලේඛය, රාජ්‍ය නිලධාරීන් තුළ අභ්‍යන්තර පරිවර්තනයක් ඇති කරමින්, ගොනුවලට පමණක් සීමා නොවී ක්ෂේත්‍ර මට්ටම දක්වාම මහජනතාවට අත්විඳිය හැකි අයුරින් අඛණ්ඩතාව සහ විනිවිදභාවය ආයතනගත කරන බව අවධාරණය කරයි.

මීට අමතරව, පාසල් මට්ටමින් ‘අඛණ්ඩතා සමාජ’ පිහිටුවීමටත්, පාසල් පරිසරය තුළ අඛණ්ඩතාව පිළිබඳ සංකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් සම්පාදනය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී ඇත.

සෑම වසරකම ජනවාරි 01 වැනිදා පැවැත්වෙන සාම්ප්‍රදායික රාජ්‍ය සේවා ප්‍රතිඥාවේදී ද ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ සේවය කිරීමට රාජ්‍ය සේවකයන් මීට පෙරද පොරොන්දු වී තිබිණි.