July 25, 2026

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිදුවීම්වලට වගකීම භාරගනිමින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් තරුණ විරෝධතාකරුවන් ගෙන ගිය දැවැන්ත අරගල හමුවේ ඉන්දියානු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් තම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙම තීරණය විරෝධතාවල නිරත තරුණ තරුණියන් ලද විශාල ජයග්‍රහණයක් ලෙස දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ආරංචියත් සමගම විරෝධතාකරුවන් ප්‍රීති ඝෝෂා පවත්වමින් සිය සතුට පළකර ඇත.

“අපි එය සාර්ථකව ඉටු කළා” යනුවෙන් අගනුවර ජන්තර් මන්තර් විරෝධතා භූමියේදී ජනතාව අමතමින්, විරෝධතාව මෙහෙයවූ ‘කොක්රෝච් ජනතා පක්ෂයේ’ නිර්මාතෘ අභිජීත් දිප්කේ ප්‍රකාශ කළේය.

මෑත කාලයේ ඉන්දියාවේ හටගත් විශාලතම වීදි විරෝධතාවය බවට පත්වූ මෙම අරගලය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලනයට එල්ල වූ ප්‍රබල දේශපාලන අභියෝගයක් විය. අනෙකුත් දේශපාලනඥයන්ද තරුණයන්ගේ ඉල්ලීම්වලට සහාය පළකිරීමත් සමග තත්ත්වය තවදුරටත් උණුසුම් විය.

තම ඉල්ලා අස්වීමේ ලිපිය අගමැතිවරයා වෙත යොමුකරමින් ධර්මේන්ද්‍ර ප්‍රධාන් සඳහන් කළේ, රට පුරා ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ජාති විරෝධී බලවේග මෙයින් ප්‍රයෝජන ගැනීම වැළැක්වීම සඳහා තමන් ඉල්ලා අස්වන බවත්, රටේ තරුණ පරපුරේ අපේක්ෂාවන් සහ හැඟීම්වලට තමන් දැඩි ලෙස ගරුකරන බවත්ය.

අමාත්‍යවරයා ‘X’ පණිවිඩයක් නිකුත් කරමින් තම ඉල්ලා අස්වීම නිවේදනය කරන අවස්ථාවේදීත්, නව දිල්ලියේ විරෝධතාවල නිරත තරුණයන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියේය.

ප්‍රධාන ප්‍රවේශ විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම, රැකියා හිඟය සහ දූෂණයට එරෙහිව ජූනි මාසයේ සිට ආරම්භ වූ මෙම ‘කොක්රෝච්’ විරෝධතාවලදී ඉකුත් සඳුදා පොලිසිය එල්ල කළ පහරදීම්වලින් සිසුන් රැසක් තුවාල ලැබූහ. අගනුවර විරෝධතා පාලනය කිරීම සඳහා බලධාරීන් අන්තර්ජාල පහසුකම් මෙන්ම මෙට්‍රෝ දුම්රිය ස්ථාන 18 ක ප්‍රවේශ සීමාකිරීමට පියවර ගෙන තිබිණි.