July 25, 2026

ඇප තැන්පත් කිරීමට සහ නියම වූ දඩ මුදල් ගෙවාගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැතිකම නිසා 3,371 දෙනෙකුගෙන් යුත් රැඳවියන් පිරිසක් වසර ගණනාවක් පුරා නිසි ඵලයකින් තොරව බන්ධනාගාරගතව සිටින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.

එම වාර්තාවට අනුව, දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිවීම නිසා බන්ධනාගාර 28 ක සිරකරුවන් 1,940 දෙනෙකු ද, ඇප මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර 21 ක රැඳවියන් 1,431 දෙනෙකු ද රඳවා තබාගෙන සිටිති. මෙලෙස ඇප නියම වී මාස පහකට වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින සංඛ්‍යාව 325 කි.

මෙම තත්ත්වය බන්ධනාගාරවල පවතින අධික තදබදයට ප්‍රධාන ලෙසම බලපා ඇති අතර, මෙසේ නිදහස් වීමට නොහැකිව පීඩනයට පත්වන පිරිස් බන්ධනාගාර තුළ ඇතිවන අර්බුද හා අරගලවලට මුලපිරීමට ද ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම, මෙම පිරිසගේ ආහාරපාන ඇතුළු මූලික පහසුකම් වෙනුවෙන් රජයට වසරකට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව බන්ධනාගාර ප්‍රධානීහු පෙන්වාදෙති.

මුදල් අර්බුදයට අමතරව, ඇප කොන්දේසි සපයා ගැනීමට නොහැකිවීම සහ ඉදිරිපත් වීමට ඥාතීන් නොමැතිවීම ද මෙම දීර්ඝකාලීන රැඳී සිටීමට ප්‍රධාන හේතු වී ඇති බව විගණන විමර්ශනවලදී තහවුරු වී තිබේ.

මේ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර ප්‍රධානියකු සඳහන් කර ඇත්තේ, මෙවැනි තත්ත්වයන් නිතර නිරීක්ෂණය වන බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවත්ය.

තවද, ජනාධිපති පොදු සමාව හිමිවන අවස්ථාවලදී මෙවැනි රැඳවියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුන් මුදාහැරීමට කටයුතු කරන බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

(මූලාශ්‍රය – ලංකාදීප)