July 25, 2026

බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙත ළඟාවූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඉන්දීය නාවික පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

නිල පුවත් ආරංචි මාර්ගවලට අනුව, ‘සාගර් කවාච්’ වෙරළාරක්ෂක පෙරහුරුව වෙනුවෙන් මුර සංචාරයේ යෙදී සිටි නාවික පොලිස් නිලධාරීන් විසින් වෙරළ තීරයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි මෙම පුද්ගලයන් දෙදෙනා නිරීක්ෂණය කර ඇත.

ප්‍රශ්න කිරීමේදී ඔවුන් ශ්‍රී ලංකාවේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන 31 හැවිරිදි ජී. විග්නේශ්වරන් සහ 30 හැවිරිදි එම්. ලුසිනාත් ලෙස හඳුනාගෙන තිබේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔවුන් නාවික පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් ඇති අතර, පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට මොවුන් සම්බන්ධ බවට ශ්‍රී ලංකා බලධාරීන් සැකකරන බව එහිදී අනාවරණය වූ බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

ඊට අමතරව, ඔවුන් දෙදෙනාට එරෙහිව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍යවලට අදාළ නඩු තුනක් බැගින් විභාග වෙමින් පවතී.

ඔවුන් නැවත භාරදෙන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ලැබුණු තොරතුරුවලින් අනතුරුව, සැකකරුවන් තිරුචිරාප්පල්ලි (තිරිචි) මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි විශේෂ මු කඳවුර වෙත යොමුකර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සතියක් ඇතුළත ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.