July 24, 2026

අදායම් උපයාදීමේ අරමුණින් යටත්විජිත සමයේ ඉදිවූ නිල නිවාස සහ රාජ්‍ය ගොඩනැගිලි වාණිජ කටයුතු සඳහා යොදාගැනීමට හෝ පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව සිය කනස්සල්ල පළකරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසයි.

ජනාධිපති මන්දිරය සහ හිටපු අමාත්‍ය නිල නිවාස වාණිජ හා පොදු කටයුතු සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බවට අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුල්කර ගනිමින් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පෙන්වාදෙයි.

යටත්විජිත යුගයේ ගොඩනැගිලි සුරැකීම යනු එම පාලන ක්‍රමය සැමරීමක් නොව, රටේ සංස්කෘතික උරුමයේ කොටසක් ලෙස ඒවායේ ඇති වැදගත්කම පිළිගැනීමක් බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වාදෙයි. විශේෂයෙන්ම ජනාධිපති මන්දිර සහ නිල නිවාස වැනි රාජ්‍ය බලය නිරූපණය වන ස්ථාන පෞද්ගලික අංශයට පැවරීම වෙනුවට රජය යටතේම තබාගනිමින් නඩත්තු කළ යුතු බවට එම සංවිධානය අවධාරණය කරයි.

මෙම ගොඩනැගිලිවල වටිනාකම ඒවායේ වාස්තු විද්‍යාත්මක අගය මත පමණක් නොව, ජාතික අඛණ්ඩතාව, මහජන මතකය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අනන්‍යතාවයේ සංකේත ලෙසද පවතින බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සඳහන් කරයි. රාජ්‍ය නිල නිවාස යනු හුදෙක් ගොඩනැගිලි පමණක් නොව, රාජ්‍යයේ ගෞරවය සහ ප්‍රෞඪත්වය විදහාපාන ආයතන බවත්, ඒවා පෞද්ගලීකරණය කිරීමෙන් රාජ්‍ය සංකේතයන්හි අගය ගිලිහී යන බවත් එහි දැක්වේ.

මේවා සුඛෝපභෝගී හෝටල් හෝ පෞද්ගලික පරිශ්‍ර බවට පත්කිරීමෙන්, සමස්ත ජනතාවටම හිමි පොදු උරුමයක් පෞද්ගලික ලාභ ලබන මෙවලමක් බවට පත්වන බව සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පෞරාණික ස්ථාන නඩත්තු කිරීම වියදම් සහිත වුවද, එය ජාතික උරුමය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් ලෙස සැලකිය යුතුය.

එබැවින්, යටත්විජිත සමයේ ඉදිවූ ප්‍රධාන රාජ්‍ය ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීමෙන් වළකින ලෙසත්, ඒවායේ ඓතිහාසික හා ව්‍යවස්ථාපිත වටිනාකම සුරකිමින් රජයේ භාරකාරත්වය යටතේ තබාගන්නා ලෙසත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලා සිටියි.