July 24, 2026

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව වෙළඳ පියවරක් යටතේ සිකුරාදා සිට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වන ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා 10% ක තීරුබද්දක් පනවන බව එක්සත් ජනපද වෙළඳ නියෝජිත (USTR) කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයට අනුව, ශ්‍රී ලංකාව මෙලෙස අඩු තීරුබදු අනුපාතයට සුදුසුකම් ලබා ඇත්තේ බලහත්කාර ශ්‍රමයට සම්බන්ධ ආනයනයන් තහනම් කිරීමට හෝ සීමා කිරීමට අදාළ නීති සම්පූර්ණයෙන් හෝ පාර්ශවීයව ක්‍රියාත්මක කිරීමට සහ බලාත්මක කිරීමට කැපවී සිටීම හේතුවෙනි.

බලහත්කාර ශ්‍රමය භාවිත කර නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති හෝ ඊට කැපවී සිටින ආර්ථිකයන් සඳහා සුදුසු අනුපාතය 10% ක් බව එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය ප්‍රකාශ කළේය.

“විමර්ශනයට ලක් වූ ආර්ථිකයන් අතරින් (i) බලහත්කාර ශ්‍රම ආනයන තහනමක් පනවා ඇති, (ii) අන්‍යෝන්‍ය වෙළඳ ගිවිසුමක් හරහා එවැනි තහනමක් පැනවීමට සහ බලාත්මක කිරීමට කැපවී සිටින, හෝ (iii) යම් බලහත්කාර ශ්‍රම භාණ්ඩ ආනයනය වැළැක්වීමේ අරමුණින් අර්ධ වශයෙන් නීතිමය රාමුවක් පනවා ඇති රටවල් සඳහා සුදුසු 301 වගන්තිය (Section 301) යටතේ වන තීරුබදු අනුපාතය සියයට 10 කි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

එක්සත් ජනපද වෙළඳ නියෝජිත ජේමීසන් ග්‍රියර් පැවසුවේ, 10% සිට 12.5% දක්වා වන මෙම තීරුබදු පැනවීමේ අරමුණ වෙළඳ පාර්ශ්වකරුවන් අතර සිදුවන බලහත්කාර ශ්‍රම විරෝධී උල්ලංඝනයන් වැළැක්වීම බවයි.

මෙම 10% තීරුබදු අනුපාතයට මුහුණ දෙන ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, කැනඩාව, මෙක්සිකෝව, මැලේසියාව, ඉන්දුනීසියාව සහ එක්සත් රාජධානිය යන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වේ. මීට අමතරව යුරෝපීය සංගමයේ සහ තායිවානයේ නිෂ්පාදන සඳහාද 10% ක තීරුබද්දක් අයකෙරේ.

එසේම, එවැනි සීමාවන් පනවා නොමැති බවට තීරණය කර ඇති වෙළඳ පාර්ශ්වකරුවන් 41 දෙනෙකු සඳහා 12.5% ක වැඩි තීරුබද්දකට මුහුණ දීමට සිදුවනු ඇත. චීනය, ජපානය, සිංගප්පූරුව, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, තායිලන්තය, වියට්නාමය සහ මැදපෙරදිග රටවල් කිහිපයක් ඊට ඇතුළත් වේ.

ජනාධිපතිවරයාට පුළුල් ලෙස බදු පැනවීමට ඇති හැකියාව සීමාකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙබරවාරි මාසයේදී පනවා තිබූ තීරුබදු කිහිපයක් අහෝසි කිරීමෙන් පසුව, ට්‍රම්ප් පරිපාලනය ජනාධිපතිවරයාගේ තීරුබදු බලතල නැවත යථාතත්ත්වයට පත් කිරීමට ඉක්මන් පියවර ගත්තේය.

එම තීන්දුවෙන් පසුව, ට්‍රම්ප් මහතා විකල්ප නීතිමය බලතල භාවිත කරමින් දින 150 ක කාලයක් සඳහා ආනයන සඳහා තාවකාලික 10% ක තීරුබද්දක් හඳුන්වා දුන්නේය. එම පියවර සිකුරාදායින් අවසන් වන බැවින්, ජූනි මාසයේදී ප්‍රථමයෙන් යෝජනා කරන ලද මෙම නව තීරුබදු මගින් එය ප්‍රතිස්ථාපනය වේ.

මෙම නව තීරුබදු පනවා ඇත්තේ 1974 එක්සත් ජනපද වෙළඳ පනතේ 301 වගන්තිය යටතේ සිදු කරන ලද විමර්ශනයකින් පසුවය. එමගින් අසාධාරණ හෝ හානිකර ලෙස සැලකෙන වෙළඳ ක්‍රියාමාර්ගවලට පිළිතුරු ලෙස තීරුබදු පැනවීමට ඇමරිකානු පරිපාලනයට අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලංකා අපනයන සඳහා 12.5% ක තීරුබද්දකට මුහුණ දීමට සිදුවිය හැකි බවට ලැබුණු අනතුරු ඇඟවීම් හමුවේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 ජූලි 10 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බලහත්කාර ශ්‍රමය සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් භාවිත කර නිපදවන භාණ්ඩ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළේය.

එම නව රෙගුලාසියට අනුව, ආනයනකරුවන් තමන්ගේ භාණ්ඩ මෙම තහනමට අනුකූල වන බව සනාථ කරන සහතික කළ ලේඛන ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කළ යුතුය.

මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට අඩු එක්සත් ජනපද තීරුබදු අනුපාතය වන 10% සඳහා සුදුසුකම් ලැබීමට හැකිවී ඇති අතර, කෙසේවෙතත් මෙය දේශීය ව්‍යාපාර, නිෂ්පාදන පිරිවැය සහ රටේ අපනයන උපායමාර්ගය කෙරෙහි යම් බලපෑමක් ඇතිකළ හැකිය.