July 23, 2026

එබෝලා සහ සෙසු බෝවන රෝග මර්දනය කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සූදානම ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව විසින් කෙන්යාව වෙත ලබා දෙන වෛද්‍ය ආධාරවල පළමු තොගය භාර දී ඇති බව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මෙට්‍රික් ටොන් 4.5 ක බරකින් යුත් මෙම පළමු ආධාර තොගය, නයිරෝබි හි ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉන්දීය මහකොමසාරිස් අදර්ෂ් ස්වයිකා විසින් කෙන්යානු සෞඛ්‍ය කැබිනට් ලේකම් ඇඩන් දුආලේ වෙත භාර දුන් බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එබෝලා වෛරසයට එරෙහිව අප්‍රිකානු මහද්වීපයේ සූදානම ඉහළ නැංවීම සඳහා ඉන්දියාව විසින් අප්‍රිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙත පසුගිය මැයි සහ ජූනි මාසවලදී ලබා දුන් ටොන් 45 කට අධික වෛද්‍ය ආධාර ව්‍යාපෘතියට සමගාමීව මෙම ආධාර තොගයද ලබා දී තිබේ.

කෙන්යාවේ සෞඛ්‍ය හදිසි අවස්ථාවලදී පෙරමුණ ගෙන ආධාර උපකාර කරන ප්‍රධානතම රටක් ලෙස ඉන්දියාව පෙන්වා දිය හැක.

කොවිඩ්-19 වසංගත සමයේදීද ‘වැක්සීන් මෛත්‍රී’ වැඩසටහන යටතේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් මාත්‍රාවලින් මිලියන 1.12 ක් කෙන්යාවට ලබා දුන් අතර, ඊට අමතරව ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ රැසක්ද පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.