July 23, 2026

කොළඹ වරාය නගර පරිශ්‍රයේ ඊයේ රාත්‍රියේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසු චීන ජාතිකයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

සිද්ධියට අදාළ සත්‍ය තොරතුරු හැකි ඉක්මනින් තහවුරු කර ගැනීමට සහ චීන පෞද්ගලික ආරක්ෂාව මෙන්ම නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ සුබසාධනය සුරක්ෂිත කිරීමට විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයින්ට තමන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය වැඩි කරගන්නා ලෙසත්, හදිසි අවස්ථාවකදී වහාම පොලීසියට වාර්තා කර තානාපති කාර්යාලයේ සහාය ලබාගන්නා ලෙසත් තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

කොළඹ වරාය නගරයේ ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ බවට වාර්තා වූ චීන ජාතිකයාගේ මෘත ශරීරය අද දිනයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් හමු වීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ මෙම චීන ජාතිකයා පැහැරගෙන ගොස් ඇති අතර, අනිත් පුද්ගලයින් දෙදෙනා තුවාල සහිතව අතහැර දමා තිබියදී රෝහල් ගතකර ඇති අතර, මොහු අතුරුදහන් වූ බවට වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.