July 23, 2026

යාපනයේ පිහිටි පෞද්ගලික රෝහලක් විසින් සම්පූර්ණ ලේ පරීක්ෂණයක් (FBC Test) සඳහා නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන බවට ලැබුණු වාර්තා කිහිපයකින් පසුව, ප්‍රධාන වෛද්‍ය පරීක්ෂණ සඳහා අයකළ හැකි උපරිම ගාස්තු පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරිය පැහැදිලි කිරීමක් නිකුත්කර ඇත.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද අංක 67 දරන නියෝගයට අනුව, උපරිම ගාස්තු පහත පරිදි වේ:

– සම්පූර්ණ ලේ පරීක්ෂණය (FBC Test): එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා රුපියල් 400යි

– ඩෙංගු සඳහා වන NS1 ඇන්ටිජන් පරීක්ෂණය (NS1 Antigen Test): එක් පරීක්ෂණයක් සහ වාර්තාවක් සඳහා රුපියල් 1,200යි

2186/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද මෙම නියෝගය 2020 ජූලි 29 වැනි දින සිට බලාත්මකව පවතී.

පෞද්ගලික රෝහල් හෝ රසායනාගාරවලින් මෙම පරීක්ෂණ ලබාගැනීමේදී වැඩි අවධානයකින් පසුවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ගෙවීම් සඳහා සෑම විටම නිල බිල්පතක් හෝ කපිතාන්සියක් ඉල්ලා සිටින ලෙස ද රෝගීන්ට උපදෙස් දෙනු ලැබේ.

යම් ආයතනයක් නියමිත උපරිම ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම්, අදාළ කපිතාන්සිය සහ වෙනත් සාක්ෂි සමඟ *1977* ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන සාධාරණ නොවන මිල ගණන් අය කිරීම්වලින් රෝගීන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේය.